අසනීප වූ අප බොහෝ විට යොමුවන්නේ බටහිර වෛද්‍යවරයෙකු වෙත ය. අපගේ රෝගී තත්ත්වය පරීක්‍ෂා කර, ඊට ගැලපෙන පරිදි බටහිර ඖෂධ නියම කිරීම ඉන් අනතුරුව සිදු වෙයි. බෙහෙත් තුණ්ඩුවේ සඳහන් ඖෂධ ඔසු හලකින් නැතහොත් ෆාමසියකින් ලබාගෙන නිවසට පැමිණෙන අතර, වෛද්‍ය උපදෙස් අනුව ඒවා පාවිච්චිය සිදු වෙයි.
එහෙත් වෛද්‍යවරයා නියම කළ අදාළ ඖෂධයේ ක්‍රියාකාරී සංයෝගය නියම මාත්‍රාවෙන් පවතින සැබෑ ඖෂධයක් බව ඔබ ඖෂධ ලබා ගත් වෙළඳ සලෙන් ලද බවට සහතිකයක් තිබේ ද? අප පාවිච්චි කරන්නේ සැබෑ ඖෂධය ලෙසින් වෙස් වළාගෙන පැමිණි තත්ත්වයෙන් බාල, ගුණාත්මකභාවයෙන් පහළ ඖෂධයක් විය නොහැකි ද?
තත්ත්වයෙන් බාල (Counterfeit) හෝ ගුණාත්මකභාවයෙන් පහළ (Substandard) බටහිර ඖෂධ මේ වන විට ලොව පුරා ඖෂධ වෙළඳපොලේ සීග්‍රයෙන් පැතිර යන නමුත් මේ දක්වා ඒ සඳහා ප්‍රමානවත් අවධානයක් යොමු වී නැත. මින් වඩාත් ම බැට කන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, අප්‍රිකාව වැනි දිළිඳු රටවල ජනතාව බව සමීක්‍ෂණ වාර්තා පෙන්වා දෙයි.
පසුගිය වසරකදී බ්‍රිතාන්‍යයේ ලැන්සට් වෛද්‍ය සඟරාව මේ සැඟවුණ අනතුර ලොවට හෙළි කර සිටියේ ය. ඊට අනුව තත්ත්වයෙන් බාල බටහිර ඖෂධයක් යනු ඕනෑකමින් ම ජනතාව මුලා කිරීම සඳහා සැබෑ ඖෂධයේ පෙනුමට සමාන ලෙස ලේබල් කර පවතින ඖෂධ වෙයි. මේවා මුල් ඖෂධීය නාමයෙන් ම හෝ වෙළඳ නාම ලෙස පැමිණෙන අතර, මේ තුළ සැබෑ ක්‍රියාකාරී සංයෝගය පැවතීමට හෝ නොපැවතීමට පුළුවන. එසේ ම සැබෑ ක්‍රියාකාරී සංයෝගය නියමිත මාත්‍රාවට වඩා අඩුවෙන් එකතු කර තිබෙන්නට ද පුළුවන මීට අමතරව සැබෑ ඖෂධයට ආකර්ෂණීය කවරයක් යොදා තිබෙනු ඇත.
ගුණාත්මක භාවයෙන් පහළ ඖෂධ සැළකූ විට මෙම ඖෂධ මඟින් සැබෑ ඖෂධයෙන් බලාපොරොත්තු වන විශේෂඥ ක්‍රියාකාරීත්වය ඉටු නොවෙයි. මේවා සැබෑ ඖෂධයට බොහෝ සමාන වන නමුත්, ප්‍රධාන වෙනස සැබෑ ඖෂධයේ අමතර විශේෂ ක්‍රියාකාරීත්වය රෝගියාට නොලැබීමයි බරපතලම අවදානමක් වන්නේ තවමත් පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධ මෙසේ වෙළඳපොලට පැමිණිය හැකි වීමයි.
තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ වෙළඳපොලේ සැරිසැරීම පසුගිය දශකය පුරා ඉහළ ගොස් තිබෙන අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස රෝගීන් ගේ මරණ සංඛයාවද, අතුරු ආබාධ ද කැපී පෙනෙන ලෙස වැඩි වී ඇත. මේ වන විට ලෝක වෙළඳපොලේ පවතින ඖෂධ වලින් 1% ත් 50%ත් අතර සංඛ්‍යාවක් තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ ය. ඖෂධ සමාගම් වාර්ෂිකව ඖෂධ මිලියන ගණනක් නිපදවන නිසා, මින් 1%ක් යනු මිලියන සංඛ්‍යාවකි. මේ අනුව ලොව පුරා පැතිරුණු මාෆියා අපරාධ කල්ලි වලට මෙය විශාල ධනෝපායන මාර්ගයක් ව ඇත. දැනට වෙළඳපොලේ පවතින තත්ත්වයෙන් ඉහළ ඖෂධ වල මිල ද ඉහළ අගයක් ගනී. එසේ ම සමහර ඖෂධ සල්වල මේ තත්ත්වයෙන් ඉහළ ඖෂධ විකිණීමට නොමැත. මීට අමතරව මේ පහත් ඖෂධ වලට එරෙහිව නීතිරීති ක්‍රියාත්මක වීම මන්දගාමී ලෙස සිදුවන අතර, පවතින නීතිරීති වල සිදුරු වලින් පහසුවෙන් රිංගා යා හැකි ය. එසේ ම ලැබෙන දඬුවම ද නොසැලකිය හැකි තරම් ය පොලීසිය, රේගුව සහ ඖෂධ පාලන අධිකාරිය අතර නිසි පරිදි ක්‍රියාත්මක වන අන්තර් සබඳතාවක් නොමැතිකම ද මේ සඳහා රුකුලක් වී තිබේ.
තව ද තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ සම්බන්ධව සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයට සම්බන්ධ නිලධාරීන්, වෛද්‍යවරුන් මෙන් ම සාමාන්‍ය මහජනතාව අතර ද පුළුල් දැනුමක් හෝ අවබෝධයක් නොමැත. මෙය කණගාටුවට කරුණක් වන නමුත් මේ යුගය ගත්කල මේ පිළිබඳව වහ වහා දැනුවත් ව ක්‍රියාත්මක විය යුතු ය.
ශ්‍රී ලංකාව වැනි රටවල අප බොහෝ විට ඖෂධ ලබා ගන්නේ නුපුහුණු ෆාමසි හිමියන් වෙතිනි. ප්‍රධාන නගර වලින් ඉවතට යන විට මේ තත්ත්වය කැපී පෙනෙයි. ඔබට ඖෂධ අලෙවි කරන ඖෂධ සල් හිමියාගේ සුදුසුකම ගැන ඔබ සෑහීමකට පත් විය හැකි දැයි විමසිලිමත් විය යුතු ය. බොහෝ විට වෛද්‍යවරයා නියම කරන ඖෂධය වෙනුවට ඔබට ලැබෙනුයේ ෆාමසි හිමියාට විකුණා ගැනීමට අව්‍යශ තත්ත්වයෙන් බාල ඖෂධයකි. එකම ඖෂධීය නාමයෙන් පවතින විවිධ වෙළඳ නාමයෙන් අලෙවි කරන ඖෂධ භාවිත කළ විට රෝගියාට සුව වීමට ගත වන කාලය වෙනස් වන්නේ මේ තත්ත්වයෙන් බාල ඖෂධ වෙළඳපොලේ සැරිසැරීම නිසා ය.
තත්ත්වයෙන් බාල ඖෂධ හඳුනා ගැනීමටත්, ඒවාට එරෙහිව ක්‍රියාත්මක වීමටත් ජනතාව දැනුවත් කිරීමටත් ප්‍රමාණවත් මානව සම්පතක් නොමැති වීම තවත් ගැටලූවකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධිත රාජ්‍යයන් හි කාර්යක්‍ෂම ඖෂධ අධිකාරියක් ක්‍රියාත්මක වන්නේ 20 ෴ පමණ වන ප්‍රමාණයක පමණි. රාජ්‍යයන් ගෙන් 30% කම කිසි ම ඖෂධ අධිකාරියක් නැත. මීට අමතරව රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ නිලධාරින් මේ ඖෂධ අනුමත කිරීම ද සිදු වෙයි.
රට රටවල් අතර ඇති වන සංකීර්ණ වෙළඳ ගිවිසුම් ද තත්ත්වයෙන් බාල ඖෂධ රටක් තුළ සැරි සැරීමට අත් උදව්වකි. මේවායේ ප්‍රතිඵලයක් ලෙස මේ ඖෂධ වෙළෙන්දෝ ඉහළ ලාභයක් ගනිති.
1982-1999 කාල සීමාව තුල දී රටවල් 38 ක් සම්බන්ධ කරගෙන ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධිත රට වලින් ලද වාර්තා විශ්ලේෂණයේ දී තත්ත්වයෙන් බාල ඖෂධ බටහිර පැසිෆික් රටවල සුලබ බව හෙළි වී ඇත. අනෙක් රට වලින් මෙතෙරම් ඉහළ ලෙස මේ තත්ත්වය වාර්ත නොවන නමුත් එයට හේතුව එම රටවල් මේ සම්බන්ධව දක්වන උනන්දුව හා අවධානයේ ප්‍රමාණය මඳකම මිස ඒ රටවල් තුළ මෙවැනි තත්ත්වයක් නොතිබීම නොවේ. ඒ රටවල මහා සාගරය තුළ ගිලූණු අයිස් කන්දක් ලෙස අපට පෙනෙනුයේ ඉතා සුළු සංඛ්‍යා ලේඛන ප්‍රමාණයකි.
මිලියන සංඛ්‍යාත රෝගීන් පිරිසක් භාවිතා කරන්නේ තත්ත්වයෙන් බාල බටහිර ඖෂධය. තත්ත්වයෙන් බාල බටහිර ඖෂධවල වූව ද ලේබලයේ සඳහන් වන්නේ නියමිත සංයෝග අඩංගු වන බවය එහෙත් ඒ තුළ ක්‍රියාකාරී සංයෝග අඩුවෙන් ඉතා වැඩියෙන් හෝ කිසිසේත්ම අඩංගු විය නොහැකි ය. සමහර විට වෙනත් ක්‍රියාකාරී සංයෝගයක් පැවතිය හැකි ය.
තත්ත්වයෙන් බාල ඖෂධ හඳුනා ගැනීමට ඖෂධ අඩංගු බෙහෙත් පැකට්ටුව බොහෝ විට උපකාරී වෙයි. එහි සැබෑ ඖෂධ පැකට්ටුවට වඩා සුළු හෝ වෙනසක් පවතියි.
තත්ත්වයෙන් බාල හා ගුණාත්මකභාවයෙන් පහළ ඖෂධ ගැන සලකා බැලීමේ දී එය අද ඊයේ පහළ වූවක් නොව, ශතවර්ෂ ගණනාවක ඉතිහාසයක් පුරා දිව යන්නක් බව පැහැදිලි වෙයි. ක්‍රිස්තු වර්ෂ පළමු ශත වර්ෂයේ දී ග්‍රීසියේ දී පළමු වරට ඖෂධ වර්ග කිරීමේ දී ද මේ සම්බන්දව අවධානම ගැන රතු එළි දල්වා තිබිණි. රෝගයට නියම කරන බෙහෙත් පැළෑටි වර්ගය වෙනුවට වෙනත් බෙහෙත් වර්ග මෙසේ භාවිත කර ඇත. දහ හත්වන ශතවර්ෂයේ දී මැලේරියා රෝගය සඳහා සිංකෝනා ශාකයට ඉහළ ඉල්ලූමක් පැවති අතර, සිංකෝනා වෙනුවට වෙනත් ව්‍යාජ ශාක භාවිතයට යෙදවීම සමඟ මේ ඉල්ලූම පහල ගොස් ඇත.
දහ නවවන ශතවර්ශය මැද භාගය වන විට මහා බ්‍රිතාන්‍යයේ හා ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්වීනීන් වලට (quinine – මැලේරියාවට ප්‍රතිකර්මයක් ලෙස යොදා ගන්නා ඖෂධයකි) සමාන තත්ත්වයෙන් බාල ඖෂධ සැරිසරන බව අවධාරණය කර තිබෙයි. වියනාවේ දී පෙනිසිලින් වලට සමාන තත්ත්වයෙන් බාල ඖෂධ රැසක් විකුණන වෙළෙන්ඳන් ගැන තොරතුරු එම යුගයේ දී හෙළි වී ඇත. කෙසේ නමුත් මේ සියල්ල ජාත්‍යන්තර වශයෙන් විශාල කතිකාවකට ලක් වූයේ මීට වසරකට පෙර ය.
ලැන්සේට් වෛද්‍ය සඟරාව පෙන්වා දෙන අන්දමට තත්ත්වයෙන් බාල ඖෂධ සම්බන්ධව පරීක්‍ෂණ සිදුවීම හෝ ජනමාධ්‍ය මඟින් පෙන්වා දීම ප්‍රමාණත් නැත. පශු වෛද්‍ය කටයුතු හා කෘමිනාශක ලෙස යොදා ගන්නා ඖෂධ පවා මානව භාවිතයට පැමිණ ඇත. අයර්ලන්තයෙන් වාර්තා වන අන්දමට Oxfendazole නම් පශු වෛද්‍ය කටයුතු සඳහා භාවිතා වන ඖෂධය තවත් පශු වෛද්‍ය ඖෂධ රැසක් සමග හොර රහසේ බටහිර ඖෂධ වෙළඳපොළේ සැරිසරමින් අපේ උගුරට ඇතුළු වෙයි මේ සමහර ඖෂධ රැසක් පැකට් වීම සිදු වන්නේ චීනයෙහි ය.
තත්ත්වයෙන් බාල පැරසිටමෝල් ^Paracetamol) භාවිත කිරීම නිසාත්, කැස්ස සඳහා යොදා ගන්නා සමහර සිරප් වර්ග පානය කිරීම නිසාත් කුඩා ළමයින් 500කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇත. මීට අමතරව එන්නත් කටු සම්බන්ධව ද යමක් සඳහන් කළ යුතු ය. භාවිත කරන ලද එන්නත් කටුවලින් 50෴ කට ආසන්න ප්‍රමාණයක් නැවත වරක් සෝදා ප්ලාස්ටික් ආවරණ වල ඔතා ඉන්දියාව හරහා යළි වෙළඳපොළට පැමිණෙයි.
මේ ආකාරයට තත්ත්වයෙන් බාල ඖෂධ වෙළඳපොළ පුරා තම තම අණසක පැතිරවීමට බලපාන ලද කරුණු කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය. ඉන්දියාව තුළ භාවිතා වන ඖෂධ වලින් 13 % -30 % ක් අතර ප්‍රමානයක් තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ ය. චීනය තුළ සිදු වූ රෝගී මරණ වලින් 192000 ක් මෙම අඩු ගුණාත්මකභාවයෙන් යුතු ඖෂධ නිසා සිදුව ඇති අතර, එරට රජය මේ තත්ත්වය මත ඖෂධ කම්හල් 1300ක් පමණ වසා දැමීමට නියෝග කර ඇත. ඇමෙරිකානු ඩොලර් මිලියන 57 කට ආසන්න ඖෂධ තොග මෙසේ භාවිත වූ බවට වාර්තා වෙයි.
සමහර ඖෂධ වර්ග ගබඩා කර තබන ආකාරය ද ඖෂධයේ ගුණාත්මකභාවය හීන වීමට බලපා ඇත. ඝර්ම කලාපීය දේශගුණය හමුවේ Tetracycline වැනි ප්‍රතිජීවක විෂ තත්ත්වයට පත්වීම නිදසුනකි. Chloramphenicol, Co-trimoxozole, Rifampicin, Tetracycline, Ampicillin, Amoxycillin, Rifampicin, Tetracycline, Ampicillin, Amoxycillin වැනි සුලබ ඖෂධ රැසක් බුරුමය, වියට්නාමය, කැමරුන් වැනි රටවල බාල තත්ත්වයෙන් යුතු ව අලෙවි වන බව වාර්තා වෙයි. Chloroquine, Quinine, Sulpha pyrimethamine වැනි මැලේරියා මර්දන ඖෂධ ද මීට සුලබ ලෙස දායක වෙයි. මෙවැනි සමහර ඖෂධ පරීක්‍ෂා කිරීමේ දී හෙළි වී ඇත්තේ මේවා තුළ කිසි ම ක්‍රියාකාරී ඖෂධ සංයෝගයක් අඩංගු නොවන බවයි.
නයිජීරියාව තුළ මෙවැනි තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ වලට එරෙහිව දැවැන්ත අරගලයක් දියත් වන අතර, එමඟින් මෙවැනි ඖෂධ රැසක් හඳුනාගෙන විනාශ කර ඇත.
ඝර්ම කලාපීය රටවල බහුල ලෙස භාවිත වන්නේ මැලේරියා නාශක ඖෂධ වන අතර, ව්‍යාජ ඖෂධ වෙළඳපොළ පහසුවෙන් ම ගොදුරු කරගෙන ඇත්තේ මේ පරිසරය බව ලැන්සෙට් වාර්තා පෙන්වා දෙයි. දකුණු ආසියාතික රටවල භාවිත මෙවැනි ඖෂධ වලින් 38% -35 % අතර ප්‍රමාණයක් ද මෙයට අයත් වෙයි.
සමහර වෛරස් රෝග සඳහා ඖෂධ ඉතා ඉහළ මිල ගණන් යටතේ පවතින බැවින් තත්ත්වයෙන් බාල මිලෙන් අඩු ප්‍රති වෛරස් ඖෂධ වෙළඳපොලට පැමිණිය හැකි ය. HIV, කුරුලූ උණ වෛරස වැනි රෝග වලට එරෙහිව පවතින ඖෂධ මෙසේ ගුණාත්මකභාවයෙන් අඩු වුව හොත් එය ප්‍රභල ගැටලූවකි.
නවීන තාක්‍ෂණික උපායමාර්ග රැසක් දැනට මේ ව්‍යාජ ඖෂධ හඳුනාගැනීම සඳහා විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. වර්ණාවලි, රසායන විද්‍යාත්මක, අධිකරණ විද්‍යාත්මක උපායන් මේ අතර ප්‍රධානය. මේ නවතම තොරතුරු අනාවරණයන් ඔස්සේ නිදා සිටින අය දැන් සිහිනයෙන් පිබිද ක්‍රියාත්මක විය යුතු ය. අශ්වයා පළා ගිය පසුව ඉස්තාලය වසා පලක් නොමැත.
බාල බටහිර ඖෂධ භාවිතයහි අතුරු ප්‍රතිඵල
අපේක්‍ෂිත ප්‍රථිඵල ලබා නොදෙන, තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ භාවිතය නිසා මැලේරියාව, නියුමෝනියාව, මොළයේ උණ, ටයිෆොයිඞ්, ක්‍ෂය රෝගය ආදිය යළි හිස එසවීමටත්, එම රෝග නිසා ඇති වන මරණ සංඛ්‍යාව ඉහළ යාමටත් මග පෑදී ඇති බව අප අමතක නොකළ යුතු ය. එහෙත් ඝර්ම කලාපීය රටවල සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ වාර්තා සැකසීම් නිසි පිළිවෙලකට සිදු නොවන නිසා මේ සම්බන්ධව නිශ්චිත සංඛ්‍යා ලේඛන නොමැත.
තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ තුළ අන්තර්ගත විවිධ රසායන ද්‍රව්‍ය බොහෝ අතුරු අබාධ වලට මුල පුරයි. සාමාන්‍යයෙන් ඖෂධයක් තුළ නියමිත ක්‍රියාකාරී සංයෝගය පැවතිය යුත්තේ අදාළ මිලිග්‍රෑම් ගණනින් පමණි. එහි සුළු වශයෙන් හෝ වැඩි වීමක් වුවහොත් යහපත් ප්‍රතිඵල වෙනුවට මාරාන්තික ප්‍රථිඵල උදා වෙයි.
ඇතැම් බටහිර ඖෂධ තුළ අවශ්‍ය කරන සංයෝගය වෙනුවට අනවශ්‍ය සංයෝග රැසක් ම පැවතීම නිසා ඒ එක් එක් සංයෝගයේ අතුරු ආබාධ සියල්ලම රෝගියාට උරුම වෙයි. නිදසුනක් ලෙස Artesunate ඖෂධයේ තත්ත්වයෙන් බාල ආකාරවල Artimisinin, Chloramphenicol, Erythromycin, Paracetamol, Metronidazole සහ Metamizole යන සංයෝග සියල්ල අඩංගු ය. මෙමඟින් රෝගියාට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා මෙන් ම රෝගියා ද යන දෙදෙනා ම අන්දමන්ද වෙති.
කුඩා ළමයින්ට මැලේරියා රෝගයට ලබා දෙන Chloroquine ඖෂධය තුළ ඇස්ප‍්‍රීන් අඩංගු වන අවස්ථා හෙළි වී ඇත. මේ නිසා කුඩා ළමයින්ට මෙම ඖෂධ ලබා දීමෙන් බලාපොරොත්තු නොවන අතුරු ප්‍රථිඵල ලැබී ඇත. තත්ත්වයෙන් බාල Gentamycin වර්ගයේ අක්‍ෂි ඖෂධ නිසා බලා පොරොත්තු නොවන ආකරයේ අක්‍ෂි ආබාධ මතු වී ඇත.
බාල වර්ගයේ ඖෂධ නිපදවීම රට රටවල ආර්ථික යාන්ත්‍රණයට ද දැඩි බලපෑමක් එල්ල කර ඇත. දැනට අනාවරණය කරගෙන ඇති පරිදි තත්ත්වයෙන් බාල ඖෂධ අලෙවියෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 35-44 ක් අතර ආදායමක් ලැබෙන අතර, මේ ඖෂධ භාවිතයේ ප්‍රථිඵල නිසා රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත් වීමත්, මියයාමත් නිසා සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයට මීට වඩා විශාල අලාභයක් සිදු වෙයි. රෝගීන්ගේ පවුල් වලට දැරීමට වන පිරිවැය ද ඉහළ යයි.
තත්ත්වයෙන් බාල ඖෂධ මෙසේ වෙළඳපොල පුරා අණසක පැතිරවීම සමඟ සැබෑ ඖෂධ කෙරෙහි ද පවතින විශ්වාසනීයත්වය බිඳ වැටීම නොවැළැක්විය හැකි ය. මීට අමතරව ජනතාව රාජ්‍ය සෞඛ්‍ය ප්‍රතිපත්ති ආදිය ද නොසලකා හරිනු ඇත.
මේ අතර නිසි පරිදි ක්‍රියාත්මක නොවන ව්‍යාජ ඖෂධ රෝග වලට එරෙහිව සටන් කිරීමට යොදා ගැනීම නිසා එම රෝග වලට එරෙහි ප්‍රතිරෝධයක් රෝග විසින් ගොඩනඟා ගැනෙයි. ඉන් අනතුරුව මේ ප්‍රතිරෝධීතාවන් පැතිර යාම සිදු වෙයි. මැලේරියාව, ක්‍ෂය රෝගය හා HIV සඳහා ප්‍රතිකාර සිදු කිරීමට තනි ඖෂධයක් වෙනුවට ඖෂධ කිහිපයක් (combination therapy) යොදා ගන්නා අවස්ථා වලදී මේ ප්‍රතිරෝධය ප්‍රබල ගැටලූවක් වෙයි.
මේ ආකාරයට දැනට වෙළඳපොලේ පවතින බොහෝ ඖෂධ වලට එරෙහිව ප්‍රතිරෝදයක් ගොඩ නැඟීම නිසා රෝග වලට එරෙහි ව සටන් කිරීම සඳහා අලූතින් ඖෂධ නිපදවීමට සිදු වී තිබෙයි. මේ අනුව තත්ත්වයෙන් බාල ඖෂධ බිහි වීම අවුල් වුණ නූල් බෝලයක් මෙන් සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය වියවුල් කර දමා ඇත.
ව්‍යාජ ඖෂධ මෙල්ල කරන්නේ කෙසේ ද?
තත්ත්වයෙන් පහළ, ව්‍යාජ ඖෂධ මෙල්ල කිරීම ඔබට හෝ මට තනි තනි ව කළ හැක්කක් නොවෙ යි. එය ශ්‍රී ලංකාව වැනි තනි රටකට තනිව කළ හැකි අරගලයක් ද නොවෙයි. මේ සඳහා විවිධ රටවල් අතර දැවැන්ත ඒකාබද්ධ ව්‍යාපාරයක් පැවතිය යුතු ය. රට රටවල් අතර හා රාජ්‍යන් තුළ මේ සම්බන්ධව ජනතාව දැනුවත් කළ යුතු
රාජ්‍ය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, සෞඛ්‍ය බලධාරීන්, කර්මාන්තශාලා හිමියන් හා සිවිල් සංවිධාන එකා මෙන් මේ ව්‍යායාමයට හවුල් විය යුතු ය. තනි ව සටන් වැදීමට වඩා එක්ව සටන් වැදීම සාර්ථකය. ලෝක සෞඛ්‍ය සංවිධානය WHO මේ සඳහා පෙරමඟ නායකත්වය ලබා ගත යුතු බව ලැන්සෙට් වෛද්‍ය සඟරාව පෙන්වා දෙයි.
පසුගිය වර්ශයක ඉතාලියේ රෝම නගරයේ මේ සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ සැසි වාරයක් පැවති අතර, මෙහි දී ජාත්‍යන්තර කාර්යසාධක බලකායන් (International Task Force) පිහිටුවීමට යෝජනා විය.
තත්ත්වයෙන් ඉහළ ඖෂධ නිපදවීමට ඖෂධ සඳහා මනා කළමණාකාරීත්වයකින් යුත් තත්ත්ව පාලනයක් ක්‍රියාත්මක විය යුතු ය. තත්ත්වයෙන් බාල ඖෂධ වලට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීම ද වඩා කාර්යක්‍ෂම ව විය යුතු ය. දැනට ඉන්දියාව වැනි රට වල මේ සඳහා වසර තුනකට නොවැඩි සිර දඬුවමක් හා ඇමෙරිකානු ඩොලර් 108ක දඩයක් නියම වන අතර, මෙය නොගිණිය හැකි තරම් ය. දැනට රෝගීන් මරණයට කැඳවන මෙවැනි ව්‍යාජ ඖෂධ නිපදවන්නට මරණ දඬුවම දිය යුතු බවට අදහසක් ඉන්දියාව තුළින් බිහි වී ඇත.
ව්‍යාජ ඖෂධ වෙළඳපොලට පැමිණීම සංවිධානාත්මක අපරාධ ජාලයක එක් හස්තයක් පමණක් වන බැවින් පොලීසිය හා රේගුව මේ සම්බන්ධව තම උකුසු ඇස යොමු කළ යුතු ය. ජාත්‍යන්තර පොලීසීයේ සහය මේ සඳහා නොපැකිළිව ලබා ගත යුතු ය. දේශපාලන බලපෑම් වලින් තොරව ක්‍රියාත්මක වීමට මේ සඳහා නිදහස විවර කළ යුතු ය. ඖෂධ වර්ග නිපදවීමට අවසර ලබා දීම ද දැනට වඩා පුළුල් පිවිසීමකින් අනතුරුව සිදු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත යුතු ය. හොරොයින්, කංසා, අබිං, අත්අඩංගුවට ගැනීමට රේගුව හා පොලීසිය දරන වෑයම ව්‍යාජ ඖෂධ සම්බන්ධව ද ක්‍රියාත්මක විය යුතු ය.
තම රට තුළ නීත්‍යානූකූලව ලියාපදිංචි කළ ඖෂධ අලෙවි කිරීමට සමහර ඖෂධ සල් හිමියන් පෙලඹෙන අතර, ඝර්ම කලාපීය රටවල මේ තත්ත්වය ඉස්මතු වී පෙනෙයි. රෝගීන් ද ඖෂධ මිල දී ගැනීමේ දී නිසි පරිදි සහතික හෝ පුහුණුව ලත් ෆාමසි හිමියන් ගෙන් ම ඖෂධ ලබා ගැනීමට දැනුවත් විය යුතු ය.
ජනමාධ්‍යන් හරහා පෙන්වා දෙන පරිදි බොහෝ රටවල ජාතික ඖෂධ ප්‍රතිපත්ති ආහාර හා ඖෂධ පාලනයන් සිදු වන නමුත්, මේවා බොහෝ විට ලියවිලි වලට පමණක් සීමා වී ඇත, ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක් නොමැත. ශ්‍රී ලංකාව තුළ ද තත්ත්වය මෙයට සමානය. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය එකතැන පල් වෙයි. ඒ ගැන දැන් කථා බහක් ද නැත.
තත්ත්වයෙන් ඉහළ ඖෂධ දවටන භාවිතය ද ව්‍යාජ ඖෂධ වලට වැට බඳියි. මෙමඟින් අනුකරණ ඖෂධ නිපදවීම සීමා වෙයි. ඉහළ ප්‍රමිතියෙන් යුත් පැකට් නිපදවීම මේ ව්‍යාජ ඖෂධ නිපදවන්නට පහසු නැත.
ව්‍යාජ ඖෂද වලට එරෙහිව සටන් වැදීමට අත්‍යවශ්‍ය සාධකය මහජනතාව දැනුවත්ව සිටීමයි. ශ්‍රී ලංකාව ද ඇතුළු බොහෝ දියුණු වෙමින් පවතින රටවල ජනතාව ගෙන් සියයට හැත්තපහකට වැඩි ප්‍රමාණයක් මේ ගැන නොදැනුවත් ය. ජනමාධ්‍ය, අන්තර්ජාලය, පෝස්ටර් ව්‍යාපාර ආදිය යොදා ගෙන මේ සඳහා ආරම්භයක් ලබා ගත හැකි ය. මේ හරහා ඖෂධ මිලදී ගැනීමේ දී වරක් නොව කිහිප වරක් ඖෂධ ඇසුරුම (Packaging පරීක්‍ෂා කළ යුතු ය.
සෑම වසරකම ලොව පුරා මිලියන 14 ක පිරිසක් ආසාදන රෝග වලින් මිය යන අතර, මින් වැඩිම ප්‍රමාණයක් සිදු වන්නේ දියුණු වෙමින් පවතින රටවලය. කෙසේ නමුත් මේ සඳහා භාවිත වන ඖෂධ වලින් වැඩි ප්‍රමාණයක් තත්ත්වයෙන් බාල ඖෂධ වුවහොත්, ඉන් ඇති වන අහිතකර ප්‍රතිඵල විස්තර කළ යුතු නොවෙයි.
බටහිර ඖෂධ මාෆියාව තේරුම් ගෙන එයට විරුද්ධව සත්‍යවාදී ලෙස ක්‍රියාත්මක වීමට පෙළගැසිය යුතු ය. එසේ නොවුව හොත් මරණයේ සෙවණැලි අප අඩපණ කරනු ඇත.
වෛද්‍ය ජි.ජී. චමල් සංජීව
ලේඛකාධිකාරී උපාධි ආයතනයේ රෝහල් පරිපාලනය පිළිබඳ කොළඹ පශ්චාත් වෛද්‍ය *
හිටපු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක – හම්බන්තොට