මගේ රාජකාරිය ආරම්භක පිතිකරුවා ලෙස පන්දුවට පහරදෙන්නද, එසේත් නැතිනම් කඩුලු රකින්නා ලෙස කටයුතු කරන්නද…ඒ ඕනෑම වගකීමක් දරන්න මට පුළුවන්.
කුසල් ජනිත් මේ වනවිට සුව අතට හැරිලා තිබෙන නිසා මට ඕනෑම ස්ථානය පන්දු රකින්න වුවත්, කණ්ඩායමට අවශ්‍ය ඕනෑම ස්ථානයක පිතිකරණයේ යෙදෙන්න වුණත් මට හැකියාව තියෙනවා.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම අබුඩාබි නුවරට පැමිණ සිටින අතර, එහි සිට වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ අද (11දා) සන්ධ්‍යාවේ පැවති මාධ්‍ය හමුවකදී චන්දිමාල් මේ බව පවසා සිටියේය.
අවසන් වරට පැවති ඕමාන තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරණ අනුපිළිවෙලේ වෙනස්කම් කිහිපයක් සිදු වූ අතර, එහිදී ආරම්භක පිතිකරුවෙකු වූ අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩා කළේද අංක 04 පිතිකරු ලෙසිනි.
තවත් දින 06කින් ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී යොදාගැනීමට බලාපොරොත්තු මෙවැනි උපායන් ගැන චන්දිමාල් මෙසේ පැවසීය.
&අපි ලංකාවෙන් යන්න කළින් පුහුණු තරග ක්‍රීඩාකළා. අවිශ්ක ඒ තරගවලත් අංක 04 ක්‍රීඩාකළේ. ඕමාන තරගාවලියේදීත් අවිශ්ක අංක 04 හොඳින් පන්දුවට පහරදුන්නා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් සැලසුම් කිහිපයක්ම තියෙනවා. ඒ සැලසුම් ඒ විදියට ක්‍රියාත්මක කළොත් ලෝක කුසලානයේදී අපට සෑහෙන ලොකු ගමණක් යන්න පුළුවන්* චන්දිමාල් අබුඩාබි සිට පැවසීය.
මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු පුහුණු තරගය බංග්ලාදේශයට එරෙහිව හෙට (12දා) පැවැත්වේ.
කෙසේ නමුත් මෙම තරගයට ක්‍රීඩාකළ හැක්කේ ඊයේ (11දා) නම්කළ ශ්‍රී ලංකා ලෝක කුසලාන අවසන් සංචිතයේ ක්‍රීඩකයන්ට පමණි.