පසුගිය මැයි මස 21 වැනි දින කොළඹ වරායට නුදුරින් ගිණිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමෙන් මෙරට මියගිය මුහුදු ජීවින් පිලිබඳ වූ වාර්තාවක් තමාට ලැබුණු බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ දර්ශනි ලහඳපුර ප්‍රකාශ කරයි.
අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙලෙස පවසා සිටියාය.
“නෞකාවේ හිමිකාර සමාගම විසින් ටෙන්ඩර් කැඳවා පාර්ශ්වයක් තෝරාගෙන තිබෙනවා. නෞකාව අයිතිකාර සමාගම අපිට 15 වනදා දැනුම් දෙයි කවුද මේ සුන්බුන් ඉවත්කරන්නේ කියලා. ඊට පස්සේ වාරකන් තත්ත්වය අඩුවීගෙන යනකොට බොහෝවිට නොවැම්බර් මාසේ මුල වගේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන්න පුළුවන් වෙයි.
අනතුර සිදුවෙලා දැනට දින 140ක් පමණ වෙනවා තාමත් යම් යම් සුන්බුන් වෙරළට ගොඩගසනවා. අපි අඛණ්ඩව ඒවා ඉවත්කරනවා. නැව අත්අඩංගුවට ගන්න කියලා අධිකරණයෙන් තීන්දුවක් දීලා තිබුණා ඒක වුණේ රක්ෂණ වන්දි ලබාගැනීමේ කරුණක් මූලික කරගෙන. ඊයේ නීතිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කළා, මෙතන අත්අඩංගුවට ගන්න නෞකාවක් නෑ කියලා. ඒ අනුව විනිසුරුතුමා එම තීරණය වෙනස් කරලා තියෙනවා, නෞකාව අත්අඩංගුවට ගන්න අවශ්‍යතාවයක් නෑ කියලා.”
මේ අතර මුහුදුබත් වූ නෞකාවේ සුන්බුන් ඉවත් කිරීමට මෙම මස අවසානයේදී හෝ ලබන මස මුල ආරම්භ කරන බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.