ගැසට් ඉවත්කරගැනීමත් සමග මර්ධිත උද්ධමනය විවෘත උද්ධමනයක් බවට පත්ව ඇති බවත් එය එක්වරක් පමණක් සිදුවන මිල වැඩිවීමක් ලෙස සීමා කරගැනීමට නම් මහබැංකුව මුදල් අච්චු ගැසීමෙන් වැලකී සිටිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා වන ඩබ්.ඒ. විජේවර්ධන පවසයි. පවතින උද්ධමන ආර්ථික පරිසරය පිලිබඳ විග්‍රහ කරමින් ඒ මහතා මෙලෙස පවසා සඳහන් කලේය.
අද ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යාම සහ එමගි න් ඇතිවිය හැකි උද්ධමනකාරී බලවේගය අපට හඳුන්වන්න පුළුවන් මර්ධිත උද්ධමනයක් (Repressed Inflation) ඉවත් කළ පසු පැන නැගුනු තත්ත්වයක් හැටියට. මෙතෙක් කල් රජය ක්‍රියාත්මක කළේ උපරිම සිල්ලර මිලක් නියම කරලා, ගැසට් මගින් ඒ උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක කිරීම මගින් වෙළෙඳපොළ මර්ධනය කිරීමට තමයි කටයුතු කරලා තිබුණේ. නමුත් එම කටයුත්ත කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ, වෙළෙඳපොළ තුළ භාණ්ඩ හිඟයක් පවතින නිසා.” “මේ නිසා මේ ගැසට් ඉවත්කර ගත් පසුව (ප්‍රෙෂර් කුකර් එක ඇතුලේ වැඩිදියුණු වෙලා තිබෙන ප්‍රෙෂර් එක සේෆ්ටි වෑල්ව් එක හරහා එලියට පනිනවා වගේ) අද වෙළෙඳපොළ තුළ එළියට පැනලා තිබෙනවා. මෙහිදී ඇතිවෙන උද්ධමනකාරී බලවේගය අපට එකවරක් ඇතිවන මිල වැඩිවීමකට සීමා කරගන්න පුළුවන්, මහ බැංකුව නැවත වරක් මුදල් නෝට්ටු මුද්‍රණය කරලා, මේ උද්ධමනයට තව බලයක් සැපයූවේ නැත්නම්. නමුත් මහ බැංකුව මුදල් නෝට්ටු මුද්‍රණය කරලා මේ ඇතිවෙච්ච මිල වැඩිවීමට බලයක් සැපයූවහොත් ඇත්තවශයෙන්ම සිදුවන්නේ එකවරක් පමණක් වැඩිවුණු මිල වැඩිවීම සදාකාලික මිල වැඩිවීමක් බවට පත්වෙලා අධි උද්ධමනයක් (Hyperinflation) බවට පාත්‍ර වෙන්න පුළුවන්.” “අපේ විනිමය අනුපාතිකයත් අද තියෙන්නේ මෙන්ම මේ තත්ත්වයේ. විනිමය අනුපාතිකයේ වටිනාකම මහ බැංකුව විසින් රු. 203කට නියම කරලා තියෙන එක අපිට හඳුන්වන්න පුළුවන් MRP (Maximum Retail Price) එකක් නියම කරපු එකක් හැටියට. නමුත් ඒ ප්‍රමාණයට වෙළෙඳපොළේ ඩොලර් ලැබෙන්නේ නැහැ. යම්කිසි අවස්ථාවක දී මේ MRP එක ඉවත් කරපු ගමන්ම විනිමය අනුපාතිකයත් මේ වගේම උඩට පැනලා මහා භයානක විදියට විනිමය අනුපාතිකය ශ්‍රී ලංකාවේ අඩුවෙන්න පුළුවන්. මේ නිසා මේ තත්ත්වය තේරුම් අරගෙන මහබැංකුව සහ රජය කටයුතු කළොත් වඩා සුදුසුයි.”