දකුණු ආසියානු පාපන්දු (සාෆ්) තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගය ඉන්දියාව හා නේපාලය හෙට (16දා) මාලදිවයිනේ මාලේ ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.30ට ආරම්භ වීමට නියමිතය.
වත්මන් දකුණු ආසියානු පාපන්දු ප්‍රබලයන් මෙන්ම තරගාවලියේ පසුගිය වර අනුශූරයන් වූ ඉන්දියාව මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට තරග කිරීමට නියමිතව ඇත්තේ 11වැනි වතාවටයි. එය කණ්ඩායමක් මෙහි අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ වැඩිම අවස්ථා ප්‍රමාණය වේ. ඉන් ඉන්දියාව වැඩිම වාර ගණනක් ශූරතාව (07) දිනා ඇති කණ්ඩායමද වේ. ඊට අමතරව දකුණු ආසියානු මට්ටමේ ශ්‍රේණිගත කිරීම්හි ඉහළම ස්ථානය (ලෝකයේ 107) හිමිකර ගෙන සිටින කණ්ඩායමද ඉන්දියාවයි.
මේ අතර නේපාලය මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ 2013 වර්ෂයෙන් පසුව වීම විශේෂත්වයකි. ඔවුන් මීට පෙර දෙවතාවක් අවසන් මහා තරගයට (1999, 2013) සුදුසුකම් ලබා ඇති අතර, එම අවස්ථා දෙකේදීම ඔවුන් ශූරතාව දිනා ගැනීමට සමත් වී ඇත. නේපාලය වත්මන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 168වැනි ස්ථානයේ පසුවේ.
දෙරට අතර පාපන්දු ඉතිහාසය 1985 වර්ෂය දක්වා දිව යන අතර, එහිදී පවත්වා ඇති තරග 22ක් අතරින් වැඩි වාසි හිමිකර ගැනීමට ඉන්දියාව සමත් වී ඇත. ඒ තරග 15ක් ජය ගනිමිනි. නේපාලය ජයගෙන ඇත්තේ තරග දෙකක් පමණක් වන අතර, තරග 05ක් ජය පැරදුමින් තොරව නිමා වී ඇත. කෙසේ නමුත් 2013 වර්ෂයෙන් පසු ඉන්දියාවට එරෙහිව කිසිදු අන්තර්ජාතික තරගයක් ජය ගැනීමට නේපාලය සමත් වී නැත. එහිදී පවත්වා අති තරග 08න් 06කම ජය ඉන්දියාව සතු වී ඇති අතර, තරග දෙකක් ජය පැරදුමින් තොරව අවසන් වී ඇත.
මේ අතර තරගාවලියේ මූලික වටයේ තරග නිමා කරමින් පෙරේදා (13දා) තරග දෙකක් පැවති අතර, එහි එක් තරගයකින් සත්කාරක මාලදිවයිනට එරෙහිව ගෝල 3-1ක ජයක් ඉන්දියාවට හිමි විය. මේ හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමටද ඉන්දියාවට අවස්ථාව උදාවිය.
එදිනම පැවති බංග්ලාදේශය හා නේපාලය අතර තරගය ගෝල 1-1ක් ලෙසින් සම තත්ත්වයෙන් යුතුව අවසන් වූ අතර, ඒ හේතුවෙන් එතෙක් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගෙන සිටි නේපාලයට දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.