මිල මුදල් සියල්ල තීරණය කරන සමාජයක, මෙතෙක් ‘දේවත්වයෙන් සැලකුම් ලද වෘත්තියක් වූ වෛද්‍ය වෘත්තියේ ද ඇත්තේ රුපියල් ශත පසුපස හඹා යන තරඟයකි. එහෙත් වෛද්‍ය වෘත්තියේ මූලික පරමාර්ථය වූ රෝගීන් සුවපත් කිරීම යන්න ඇත්තේ මේ තරඟයේ සීමා මායිම් වලින් එහා පැත්තේ ද යන්න සිතට නැගේ. අද දවසේ වෛද්‍යවරුන්ගේ ආචාර ධර්ම ඔවුන් විසින් ම නැතිකර ගනිමින් රෝගීන් ද බරපතල ගැටලූ වලට ලක් කරන අයුරු ගැන කථා කරන විමසුමකි.
අතීත ශ්‍රී ලංකාවේ ගමේ හාමුදුරුවන්ගෙන් පසු විශාල පිළිගැනීමක්, ගරු කිරීමක් ලැබුවේ ද වෙද මහතා ය. දේශීය වෙදකමට රටේ විශාල ගරුත්වයක් පැවති අතර සිහසුනට ද වෙදකම හොඳින් ම දත් බුද්ධදාස වැනි රජවරුන් පත් වූ වගට ඉතිහාසය සාක්‍ෂි සපයයි.
එදා දේශීය වෛද්‍යවරුන් තම රෝගීන් සුවපත් කිරීම තම යුතුකම සහ වගකීම ලෙස සැලකූ අතර, ඒ සඳහා මිල මුදල් අය නොකළහ. ගමේ ඈත කොනේ හදිසි රෝගියෙකු ගැන පණිවුඩයක් ලද වහාම කාලය හෝ මුදල් නොලබා එම ස්ථානයට ගොස් රෝගියා සුවපත් කළේය.
කාලය කෙමෙන් ගෙවී ගියේ ය. ශ්‍රී ලංකාව වරින් වර බටහිර ජාතිකයින්ට යටත් විජිතයක් විය. දේශීය වෙදකම වෙනුවට බටහිර වෙදකම ශ්‍රී ලංකාව තුළ මුල් බැස ගත්තේ ය ඒ සමඟම බටහිර වෙදකම සමඟ අත්වැල් බැඳ ගත් මාන්නය, ගරුත්වය, අභිමානය, එම ක්ෂේස්ත්‍රයට එක් විය. ඉංග්‍රීසි උගත් පවුල් වල දරුවෝ යුරෝපයට ගොස් බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙන පැමිණියහ. යාන වාහන, සුවිසල් නිවාස, ප්‍රිය සම්භාෂණ ඉහළ මට්ටමේ විවාහ ගණුදෙනු ආදියෙන් මේ බටහිර වෛද්‍ය විද්‍යාව උගත් වෛද්‍යවරුන්ට අඩුවක් නොවී ය.
ඉන් අනතුරු ව නිදහස් අධ්‍යාපනය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සමඟ මධ්‍යම ප්‍රාන්තික දෙමාපියන්ගේ දරුවන්ටද පහසුවෙන් මෙරට වෛද්‍ය විද්‍යාලයට ඇතුළුව වෛද්‍යවරයෙකු බවට පත්වීමේ අවස්ථා හිමි විය. පෙර සඳහන් කළ පරිදි දෙමාපියන් උත්සහ කළේ තම දරුවා වෛද්‍යවරයෙකු බවට පත් කිරීම ය. මේ තත්ත්වය සමඟ උසස් පෙළ විද්‍යා අංශයට ප්‍රවේශ වන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැංවිණි. අධ්‍යාපන ක්ෂේස්ත්‍රයේ ද දැවැන්ත තරඟයක් නිර්මාණය විය.
අධ්‍යාපන ලබන දරුවාට වඩා උනන්දුවක්, තරඟයක් දෙමාපියන් අතර ඇති වූ අතර ඒ සමඟ අපේ රටේ අධ්‍යාපන ක්ෂේස්ත්‍රයට ‘%ටියුෂන්’ හෙවත් උපකාරක පංති වසංගතය බෝ විය. නිදහස් අධ්‍යාපනය නාම මාත්‍රික තත්ත්වයට අද පත්ව ඇති අතර, සෑම දරුවකුම තම අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම වාගේ උපකාරක පංති මත යැපෙන තත්ත්වයක් බිහි වී ඇත.
උසස් පෙළ විභාගයේ ඉහළම ලකුණු විද්‍යා අංශයෙන් ලබා ගන්නා සිසුන්ගෙන් දහසකට ආසන්න පිරිසක් මේ වන විට වාර්ෂිකව වෛද්‍ය පීඨ වලට ඇතුළු කර ගනිති. මේ අනුව සෑම වසරකම වෛද්‍යවරු දහසක් පමණ එම්.බී.බී.එස්. %MBBS’ දහයකට පහළොවකට පෙර වාර්ෂිකව උපාධි ලත් වෛද්‍යවරුන් සංඛයාව මෙන් දෙගුණයක් පමණ වෙයි.
මේ ආකාරයට එක් පසෙකින් රටේ වෛද්‍යවරුන් බිහිවන අතර, අනෙක් උපාධිලාභීන්ට අත්වන ඉරණමට මුහුණ පෑමේ අභියෝගයක් වෛද්‍යවරුන්ට එල්ල විය. රජයේ රැකියා සියලූම උපාධිධාරී වෛද්‍යවරුන්ට ලබා දිය නොහැකි බව වරින් වර රජයයන් ප්‍රකාශයට පත් කිරීම සමඟ වෛද්‍යවරුන්ට තම ජීවනෝපායන් පිළිබඳ ගැටලූ මතු වන්නට වූහ.
වාර්ෂිකව වෛද්‍ය ක්ෂේස්ත්‍රයට එකතු වන පිරිස වැඩි වීම සමඟ මේ ගැටලූව තවත් වැඩි වන්නට විය. ශ්‍රී ලංකාවේ දැනට පවතින දුර්වල ආර්ථික ප්‍රගමනය ද සෘජුව වෛද්‍ය වෘත්තිකයන්ට බලපාන්නට විය. මේ සියල්ලෙහි ප්‍රථතිඵලයක් ලෙස රටේ ජීවත් වන අනෙක් පුද්ගලයන්ට මෙන් ම නාගරීකරණයේ, ගෝලීයකරණයේ ප්‍රවාහයන්ට හසු වීමටත්, සමාජ ආර්ථික සංස්කෘතික සෝදා පාළුවට මුහුණ දීමටත් අද බටහිර වෛද්‍යවරුන්ට සිදු වී ඇත.
මෙවන් සමාජ ආර්ථික වාතාවරණයක් තුළ බොහෝ බටහිර වෛද්‍යවරුන් ද මුදල් පසුපස හඹා යන, ස්වකීය ආචාර ධර්ම මුදලට විකුණන, අල්ලස් ලබා ගනිමින් මිල වැඩි ඖෂධ රෝගීන්ට ලබා දෙන, රෝගීන් ගෙන් වැඩි මිලක් අය කරන පුද්ගලයින් ලෙස අද සමාජයේ පිළිගැනීමක් ලැබෙන තත්ත්වයට පත්ව ඇත. මේ පිළිබඳව වෛද්‍ය වෘත්තිකයන් ද ස්වයං විමසීමකට බඳුන් කිරීමේ කාලය උදාවී ඇත.
මීට වසර දහයකට පෙර එක් නගරයක පෞද්ගලික ඩිස්පෙන්සරි පැවතියේ දෙකක් හෝ තුනක් පමණි. ඇතැම් නගර වල පැවතියේ එකක් පමණි. එහෙත් මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වී ඇත. සෑම ප්‍රධාන නගරයකම අවම වශයෙන් වෛද්‍ය මධ්‍යස්ථාන හයක් හෝ හතක්වත් පවතින අතර ඇතැම් විට එය දහය දොළහ පමණ වෙයි. ටියුෂන් කඩ බිහි වූ ලෙස ද අද %වෛද්‍ය මධ්‍යස්ථාන’ කඩ බිහි වී ඇත. මේවායේ සුදුසුකම්ලත් වෛද්‍යවරු මෙන් ම වෛද්‍ය සිසුහු ද රෝගීන් පරීක්‍ෂා කරති.
කෙසේ හෝ තම වෛද්‍ය මධ්‍යස්ථානයට වැඩිපුර රෝගීන් ප්‍රමානයක් අද්දවා ගැනීමට මේ වෛද්‍යවරුන්ට සිදු වේ. මේ සඳහා උපාය මාර්ග කිහිපයක් ම වෛද්‍යවරු භාවිතා කරති. ඉන් එකක් නම් තමන් ප්‍රසිද්ධ ප්‍රධාන රෝහලක සේවය කරන බව ප්‍රකාශ කිරීම ය. මෙයට කදිම නිදසුනක් දකුණු පළාතේ ජනතාව අතර වැඩිම ප්‍රසිද්ධියක් දරන කරාපිටිය රෝහල සහ වෛද්‍ය පීඨය යොදා ගැනීමය. තම උපාධි සටහන එම්.බී.බී.එස්. (කරාපිටිය) ලෙස මොවුහු දක්වති. % ‘කරාපිටියේ මහත්තයා හොඳයි’ යන දකුණු පළාතේ මතය මේ වෛද්‍යවරු උපයෝගී කර ගනී.
දෙවැනි ක්‍රමය එක බෙහෙත් වේලෙන් ම රෝගීන් සුවපත් කිරීමට ඖෂධ ලබා දීමට කටයුතු කිරීම ය. සාමාණ්‍යයෙන් ප්‍රතිජීවක ඖෂධ රෝගීන් ට ලබා දීමට පිළිගත් සම්මතයක් පවතී. එහෙත් මේ පිළිගත් සම්මතයන් ගෙන් ඖෂධ ලබා දුන් විට රෝගය ක්‍රමානුකූලව සුව වීමට දින කිහිපයක් ගත වේ. මේ නිසා දැනට භාවිත ඉහළම මිලක් සහිත උපරිම ප්‍රබලත්වයක් දරන ප්‍රතිජීවක ඖෂධ පළමු අවස්ථාවේ දීම ලබා දීමට වෛද්‍යවරු මැළි නොවෙති මින් පාර්ශව තුනකට සෙත සැලසෙයි.
1. රෝගීන්ට රෝගය අඩු වේල් සංඛ්‍යාවකින් සුව වෙයි.
2. ඉහළ මිලට ඖෂධ ගෙන්වන ඖෂධ සමාගම් සහ ඖෂධ ෆාමසි ලාබ ලබයි.
3. එක වේලෙන් ම රෝගය යටපත් වීම නිසා තමන් වෙත පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි. මේ හේතුවෙන් ප්‍රදේශය තුල ජනප්‍රියතාවට පත් වෙයි.
”එක වේලයි ඒ දොස්තර මහත්තයගෙන් ගත්තෙ හොඳ වුණා. අනික් දොස්තර මහත්තුරු ගෙන් කී පාරක් නම් බෙහෙත් ගත්ත ද?” ලෙස ජනතාව කථා කරන්නට පටන් ගනිති.
එහෙත් රොගීන්ගේ සෞඛ්‍යට සහ සාක්කුවට දිගු කාලීන ව වන හානිය ගැන කිසිවකු සිතයි ද?
වෛද්‍ය පීඨයක වසර පහක අධ්‍යාපනයේ දී ලැබෙන දැනුම හා අත්දැකීම් සාර්ථක ලෙස මෙසේ වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වා ගැනීමට ඉවහල් වන නමුත්, මේ සෑම ස්ථානයක ම ඊට ආවේණික අමුතුම කලාවක් පවතී. එබැවින් මෙවැනි ස්ථානයක සහයකයකු ලෙස මාස 04, 05 සේවය කළ පුද්ගලයෙකුට වුව ද පහසුවෙන් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යා හැකි ය.
මේ ආකාරයට මුදල් ඉපයීම සඳහා වෛද්‍යවරුන් පොළඹවන සාධාරණ හේතු ද රැසක් පවතින බව පෙනී යයි. වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබීමට එම වසර පහහමාරක කාලය පුරා නේවාසික ගාස්තු, ආහාර, ඇඳුම්, උපකරණ, පොත්පත් ආදිය සඳහා ආසන්න වශයෙන් ලක්‍ෂ දෙකකට අධික මුදලක් වැය කිරීමට දෙමාපියන්ට සිදු වෙයි. මේ දෙමාපියන් බොහොමයක් රජයේ සුළු සේවකයින් වන අතර, ඇතැම්හු විශ්‍රාමික රජයේ සේවකයෝ වෙති.
වෛද්‍යවරයෙකු වූ පසු දෙමාපියන්, නෑදෑයන් බොහොමයක් මේ පුද්ගලයා මත යැපෙන සමාජ වටපිටාවක් ගොඩ නැගෙයි. විවාහ වුවහොත් බිරිඳ, දරුවන් ද නඩත්තු කළ යුතු ය. දැනට සීමාවාසික සීමාව දී වෛද්‍යවරුන්ට ලැබෙන්නේ රුපියල් විසිපන් දහසක පමණ වැටුපකි. දවසේ පැය විසි හතරම වාගේ සේවය කළ යුතු වුව ද කිසිදු අතිකාල දීමනා නොලැබේ. කෙසේ වුව ද වසරක සේවයෙන් පසු ස්ථිර වෛද්‍ය පත්වීම තුළ මේ වැටුප දෙගුණ වීම සිදුවෙයි. මෙවන් අඩු වැටුප් ලබන වැඩි සේවාවක් කරන සමාජ වටපිටාවක් හමුවේ වෛද්‍ය ආචාර ධර්ම සියල්ල පසෙකලා මිල මුදල් පසුපස යෑමට සිදුවීම එක් අතකට පුදුමයක් ද නොවෙයි.
යානවාහන, විසල් නිවසක්, දරුවන් ජනප්‍රිය පාසල් වලට ඇතුළු කරගැනීම, නිතර නිතර පවත්වන ප්‍රිය සම්භාෂණ මේ සියල්ලට වැටුපෙන් ලැබෙන මුදල ප්‍රමාණවත් නොවෙයි.
එකිනෙකා පරයා මුදල් සෙවීම සඳහා මිනී මැරීම පතාල ලෝකයට සුලභ දෙයකි. එහෙත් පසුගිය කාලයේ දී තමන්ගේ වෛද්‍ය මධ්‍යස්ථානයට සෙනඟ පැමිණීම අඩුවීම නිසා පාතාලයට කොන්ත්‍රාත් ලබා දී අනෙක් වෛද්‍යවරයා ඝාතනය කළ පුවතක් ද වාර්තා වූයේ මේ ශ්‍රී ලංකාවෙන් මය. එක වෛද්‍යවරයෙකු තමන් වෙතට වෙනත් වෛද්‍යවරයෙකුගෙන් ඖෂධ ලබාගෙන රෝගීන් පැමිණි විට එම ඖෂධ හා වෛද්‍යවරයා පහත් කොට සැලකීම ද වෘත්තිය නිගරුවට හේතු වෙයි. මිට අමතරව සාධාරණ ලෙස මුදල් උපයන යහපත් වෛද්‍යවරුන් ට එරෙහිව අසත්‍ය කථා පැතිර වීම, මිනිසුන් බිඳ වීම ද වෛද්‍ය ක්ෂේස්ත්‍රයේ අද දවසේ මුදල් තරඟය නිසා සිදුවන කරුණකි. මේ සියල්ල සාමාන්‍ය වෛද්‍යවරුන් අතර පමණක් නොව විශේෂඥ වෛද්‍යවරුන් අතර ද පවතියි.
වෛද්‍යවරයෙකු අතින් නොවැළැක්විය හැකි අත්වැරැද්දක් රෝගියෙකුට සිදු වූ විට ද එය ඔහුට විරුද්ධව චෝදනා කිරීමට අනෙක් පිරිස යොදා ගනිති.
රෝහලේ දී පවා එක වෛද්‍යවරයෙකු තවත් වෛද්‍යවරයෙකු අතර පවතින තරඟය නිසා ඇතැම් විට වාට්ටුවල සාමකාමී ලෙස කටුයුතු නොවන බව පෙනී යයි. උදාහරණයක් ලෙස එක් වෛද්‍යවරයා චැනල් කර රෝහල් ගත වූ රෝගියෙකු තවත් එම මට්ටමේ ම වෛද්‍යවරයෙකුගේ අඩු සැලකිල්ලට ලක් වෙයි. තමන් චැනල් කර පැමිණි රෝගීන් ඔහුගේ කරුණාවට ලක් වෙයි. වෛද්‍යවරුන් අතර වන මේ තත්ත්වය හෙදියන් හා අනෙක් රෝහල් කාර්ය මණ්ඩල හොඳින් දන්නා නිසා වෛද්‍යවරුන් කෙරෙහි පහත් ආකල්පයක් රෝහල් සේවකයින් තුළ ගොඩ නැගෙමින් පවතිතියි.
බටහිර රටවල සාමාන්‍ය වෛද්‍යවරුන්ට ඉහළ වැටුප් තලයක් හිමිවෙයි. මීට අමතරව පවුලේ වෛද්‍යවරයාට අදාළ රක්‍ෂණ ආයතනය අනිවාර්යයෙන් ම මාසික ගෙවීමක් තම රෝගීන් වෙනුවෙන් සිදු කරයි. අද වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තියට වඩා අඩු අධ්‍යාපන සුදුසුකම් වලින් සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේම සේවයේ නියුතු පිරිස්වලට තමාට සමාන වැටපක් හෝ ඊට වඩා ඉහළ වැටුප් ලැබීම වෛද්‍යවරුන්ගේ දැඩි කණස්සල්ලට හේතු වී ඇත. සය වසරකට ආසන්න කාලයක් වෛද්‍ය පීඨයක විඳින දුෂ්කර ක්‍රියාව හා සැසඳීමේ දී අද දවසේ වෛද්‍යවරුන්ට ලැබෙන පිළිගැනීම ගැන බොහෝ ප්‍රශ්න මතු වී ඇත. ඔවුන් අද අනුගමනය කරන ඇතැම් දීන මට්ටමේ වෘත්තිය ක්‍රියාමාර්ග නිසා මේ පිළිගැනීම තවදුරටත් පහතට වැටෙන තත්ත්වයක් පවතී.
මේ වන විට ශ්‍රි ලංකාවේ පශ්චාත් වෛද්‍ය අධ්‍යාපනය ලබන වෛද්‍යවරුන් පිරිස ද අඩුවෙමින් පවතියි. දැනට වෛද්‍යවරයෙකු වන විට බොහෝ විට වයස අවුරුදු 28-30 අතර වීමද, විවාහ වීම, දරුවන් රැක බලා ගැනීම, පශ්චාත් වෛද්‍ය අධ්‍යාපනයට වැයවන මුදල මේ සියල්ල නිසා වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ජීවත් වීමට වෛද්‍යවරු හුරු වී සිටිති. අනෙක් අතර අපේක්‍ෂා භංගත්වය නිසා රටහැර යන වෛද්‍යවරු පිරිසට ද ඉහළ මුදලක් රටේ ජනතා මුදලින් වැය කරන බැවින් මෙලෙස වෛද්‍යවරුන් රට හැරයාම කෙලෙහි ගුණ නොදන්නා කමක් ලෙස ඇතැම්හු සිතති. මේ වන විට රජය සෞඛ්‍ය සේවයට වෙන් කරන මුදල් අඩු කිරීම ද, වැටුප් සීමා කිරීම ද, සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය පෞද්ගලීකරණයට දර දිය ඇදීම ද හමුවේ තම ක්ෂේස්ත්‍රය ගැන මහත් කලකිරීමක් ඇතිවීම සාධාරණ ද වෙයි.
මේ වන විට රජයේ රෝහල් වලට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන්නේ පහළ මධ්‍යම ප්‍රන්තික ජනතාවය. අනෙක් බොහෝ දෙනා පෞද්ගලික චැනල් හෝ පෞද්ගලික රෝහල් වලට යති. මෙම රෝගීන් වෙත තම දයාව කරුණාව වෛද්‍ය ආචාරධර්ම සුරකමින් දැක්වීම අද පැහැදිලිව පෙනෙන වෙනසකි. වෛද්‍ය වැඩ වර්ජන හමුවේ බොහෝ විට අසරණ වන්නේ මේ සාමාන්‍ය ජනතාව ය. පසුගිය කාලයේ දී වෛද්‍ය ක්ෂේස්ත්‍රයේ දිගින් දිගටම පැවති වැඩ වර්ජන හමුවේ සාමාණ්‍ය ජනතාව විශාල ලෙස මේ ක්ෂේස්ත්‍රයට වෛර කල බව පිළිගත යුතු ය.
වෛද්‍යවරුන් තම සීමාවන් හඳුනා ගැනීම ද වැදගත් ය. ඇතැම් වෛද්‍යවරු තමාට හරි හැටියට අවබෝධ නොවන, ප්‍රතිකාර කළ නොහැකි රෝග සඳහා ද විවිධ ප්‍රතිකාර කරමින් රෝගීන් තමා වෙතම රඳවා ගනිති. මෙහි අතුරුඵල භුක්ති විඳින්නේ අසරණ රෝගීන්මය. තම සීමාවට ඉහළින් පවතින විට අදාළ රෝගියා පළපුරුදු විශේෂඥ වෛද්‍යවරයෙකුට හෝ පහසුකම් සහිත රෝහලකට යොමු කිරීමට තරම් වෛද්‍යවරුන් අවංක හා නිහතමානී විය යුතු ය. දැනට ඇතැම් අවස්ථා වලදී රෝගීන් මෙසේ විශේෂඥ වෛද්‍යවරුන් හෝ රෝහල් වෙත යොමු වන විට රෝගය බොහෝ සේ පැතිර පවතින බැවින් සුව කිරීම අපහසු වෙයි. උදරාබාධ බොහොමයකට %ගැස්ට‍්‍රයිටීස්’ ලෙස වෛද්‍ය මධ්‍යස්ථාන වලදී ප්‍රතිකාර කිරීම නිසා ආහාර මාර්ගය ආශ්‍රිත ඇතැම් පිළිකා වර්ග අනාවරණය වන විට රෝගියාට ජීවත් වීමට ඇත්තේ සුළු කාලයකි.
ඇතැම් පෞද්ගලික රෝහල් වලට පැමිණෙන රෝගීන් මූලික පරීක්‍ෂා ආදියෙන් තොරව ඉතා මිල පරීක්‍ෂණ වලට යොමු කිරීම ද දැනට සිදුවන කරුණකි. උදරයේ නෙරා ඒමක් නිසා එක් කාන්තාවක් මෙවැනි පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීමට ගිය විට රුපියල් ලක්‍ෂයකට ආසන්න මුදලක් වැය වෙන පරීක්‍ෂණ සිදු කර ඇත. එහෙත් උදරය විශාල වීමට හේතුව සොයා ගෙන නැත. පසුව මෙම රෝගියා රජයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වූ අතර ඇයව පරීක්‍ෂා කළ පසුව ඇය ගැබ්ගෙන ඇති බවත්, උදරය නෙරා ඒමට හේතුව එය බවත්, විනාඩි කිහිපයකින් සොයා ගන්නා ලදී. මේ සත්‍ය සිදුවීම මඟින් අනාවරණය වන යථාර්තය කුමක් ද? මිල මුදල් හමුවේ මූලික වෛද්‍ය ආචාර ධර්ම මෙසේ සෝදා පාළුවට ලක්වීම සාමාන්‍ය ජනතාවට තවදුරටත් කලකිරවන්නකි.
මීට අමතරව නීති විරෝධි වැඩ කටයුතු, ගබ්සා කිරීම් ඇතුළු වෛද්‍ය ආචාර ධර්ම කෙළසෙන බොහෝ දේ අද දින වෛද්‍ය ක්ෂේස්ත්‍රය තුළ සිදුවෙමින් පවතී.
මෙම තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් එදා හා අද දේවත්වයෙන් සලකන බටහිර හිපොක්‍රටීස්ලාගේ හෙට දවස අඳුරු වනු ඇත. මුදලාලිවරු, දේශපාලකයින්ට අත් වූ පිළිකුල් සහගත ඉරණම තව නොබෝ දිනකින් ම බටහිර වෛද්‍යවරුන්ට සිදුවනු ඇත. ගරුත්වය පිළිගැනීම ඉවතලා මුදල් පසු පස හඹා යාමත්, අසරණ රෝගී ජීවිත සමඟ සෙල්ලම් කිරීමත් නතර කිරීමට අද දවසේ වෛද්‍යවරුන් උත්සුක විය යුතු ය.
වෛද්‍යවරුන් ගේ වෘත්තිය ගරුත්වය රැක ගත හැකි ලෙස වෛද්‍ය ක්ෂේස්ත්‍රයේ පවතින විෂමතා දුරලීමට රාජ්‍ය බලධාරීන් ද උත්සුක විය යුතු ය. එසේ නොවුනහොත් වෛද්‍යවරුන් ගේ ගරුත්වය වනසා ගත් කල රොගීන් ද වෛද්‍යවරුන් කෙරෙහි අවිශ්වාසයකින් පිළිකුලකින් බැලීමට පුරුදු වනු ඇත.
තම හෘද සාක්‍ෂියෙන් විමසා බලා කටයුතු කිරීමට වෛද්‍යවරුන් ගේ යුතුකමකි. හෘද සාක්‍ෂිය උගසට තබා මුදලට විකිණීමෙන් මුදල් පසුපස ගමන් කිරීම මිරිඟුව සොයා යෑමක් වනු ඇත. මක්නිසා ද යත් ජීවිතය යනු මිල මුදල් ම නොවන බැවිනි.
බටහිර වෛද්‍ය විද්‍යාව ජනතාව අතරට ගමන් කළේ ක්ෂණිකව ලබා ගත හැකි පෙති කරල් සමඟ ය. ක්‍රමයෙන් රටේ අනෙක් වෙළඳ භාණ්ඩ වල මිළ ඉහල යන ආකාරයටම බටහිර ඖෂධ වල මිල ඉහළ ගිය අතර මේ වන විට බොහෝ ඖෂධ වල මිල ජනතාවට දරාගත නොහැකි උච්ඡ ස්ථානයක රැදී පවතියි.
වෛද්‍යවරයෙකු වෙතට රෝගයකට ප්‍රතිකාර ගැනීමට යන රෝගියෙකුට දෙදෙනෙකුට මුදල් ගෙවීමට සිදු වෙයි. පළමුව වෛද්‍යවරයාට ය. දෙවනුව වෛද්‍යවරයා ලියා දෙන ඖෂධ නිකුත් කරන ෆාමසි හිමියාට ය ෆාමසියකට ගොස් බෙහෙත් වල මිල ඇසූ විට ඇස් උඩ යයි. වෛද්‍යවරයා සතියකට නියම කර ඇති ඖෂධ දවසකට හෝ දෙකකට රැගෙන යාම අද බොහෝ රෝගීන්ගේ සිරිත වී ඇත. මිලදී ගැනීමට මුදල් නොමැති වීම නිසා රෝගය අසාධ්‍ය වී මිය යන බොහෝ දෙනකු අපේ රටේ සිටින බව කටුක සැබෑවයි.
රෝගීන්ට ඖෂධ නියම කිරීමේ දී වෛද්‍යවරුන් විසින් අනුගමනය කරන ක්‍රියාපටිපාටියන් මේ බෙහෙත් මිලේ බරට එක් අංශයකින් වගකිව යුතු ය. වෛද්‍යවරුන්ට පොදුවේ එල්ල වන සුලභ චෝදනාව ඖෂධ වල ඖෂධීය නාමය (Generic Name) නොලියා අදාළ වෙළඳ නාමයක් (Trade Names) සටහන් කිරීමයි. සත්‍ය ලෙසට මේ චෝදනාවෙන් ගැලවී සිටීමට මෙරට බොහෝ වෛද්‍යවරුන්ට නොහැකි ය. විශේෂඥ වෛද්‍යවරුන් ගේ පටන් සාමාන්‍ය වෛද්‍යවරුන් දක්වා මෙම වරද නැවත නැවත සිදු කරති. රුපියල් තුන්සියයත් දහසත් අතර මුදලකට තමන්ට චැනල් කරන රෝගියෙකුට මිල අධික ඖෂධ නියම කලාට කමක් නැතැයි ඇතැම් විට වෛද්‍යවරුන් සිතනවා විය හැකි ය. එහෙත් අපේ රටේ බොහෝ සාමාන්‍ය පුද්ගලයින් චැනල් ගාස්තු සොයා ගන්නේ ඇතැම් විට රන් ආභාරණ උකස් කරමිනි.
ඖෂධීය නාමයෙන් හා වෙළඳ නාමයෙන් ඖෂධ නියම කිරීම පිළිබඳව මත දෙකක් දැනට පවතී. වෛද්‍යවරයෙකු ඖෂධීය නාමයෙන් ඖෂධයක් ලියා දුන් විට එම වර්ගයේ ඕනෑම ඖෂධයක් ලබාදීමට ෆාමසි හිමියාට හැකි බැවින් තමන්ට කොමිස් ලැබෙන, මිල අධික ඖෂධයක් දීමට ඔහුට හැකි ය. මිලෙන් අඩු ඖෂධයක වෙළඳ නාමය ලිවීම මේ අනුව වඩා හොඳ බව ඇතැම් වෛද්‍යවරු පවසති.
එහෙත් මේ වන විට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) මිලෙන් ඉතා අඩු බහුලව භාවිතා වන ඖෂධ රැසක් ම වෙළඳ පොළට නිකුත් කර ඇත. එහෙත් මේවා වෛද්‍යවරුන් ගේ ඖෂධ සටහන් වල සුලභ දෙයක් නොවේ. වෛද්‍යවරයෙකු නියම කරන වෙළඳ නාමයෙන් නොගෙන එම ඖෂධය මිල අඩු වර්ගයකින් මිලදී ගත් විට කොපාවිෂ්ඨ වන ඇතැම් වෛද්‍යවරු රොගීන්ට බැණ වදිති. මෙවැනි සිදුවීම් ඕනෑ තරම් සොයා ගත හැකි ය.
නිවැරදි ඖෂධය නිවැරදි මිලෙන් නියම කිරීම lsÍu (Supply of right drug at right price) නීරෝගී පැවැත්ම සඳහා ලොව පුරා පිළිගෙන ඇති මතයකි. මහාචාර්ය සේනක බිබිලේ වැනි දේශප්‍රේමි වෛද්‍යවරු බහුජාතික සමාගම් බූවල්ලන්ගෙන් මෙරට සාමාණ්‍ය ජනතාව ද, සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය ද ගලවා ගැනීමට ජීවිත පූජා කළේ ඒ වෙනුවෙනි. සෑම වෛද්‍ය පීඨයකම පාහේ සේනක බිබිලේ ප්‍රතිපත්ති ගැන වෛද්‍ය සිසුන් ව සිටින යුගයේ දී කථා කළත් ඉන් ඉවත් වූ පසුව බොහෝ දෙනාට එය අමතක වෙති. නැතහොත් අමතක කර දමති.
මිලෙන් අඩු ඖෂධය වෙනුවට මිලෙන් ඉහළ ඖෂධය නියම කිරීම වෙනුවෙන් ඇතැම් වෛද්‍යවරුන්ට බොහෝ ප්‍රතිලාභ ලැබෙන බව ප්‍රකට රහසකි. මිල මුදල්, පරිගණක, විදේශ සංචාර මේ අතර ප්‍රධාන වෙයි.
මෑතක දී කරනු ලැබූ පර්යේෂණයකින් අනාවරණය වී තිබුණේ ඖෂධ ඖෂධීය නාමයෙන් නිකුත් කිරීමෙන් ඒ සඳහා වැයවන මුදල සියයට 70 කින් අඩුකර ගත හැකි බවයි. දැනට වෛද්‍යවරුන් ඖෂධ නිකුත් කිරීමේ දී ඖෂධීය නාමයෙන් සියයට හතලිහක් පමණ සටහන් කරන අතර ඉතිරි සියයට හැටම වෙළඳ නාමයෙන් නිකුත් කරන බව ද අනාවරණය වී ඇත. රජයේ රෝහල් වලින් ද බොහෝ විට සමහර ඖෂධ පිටතින් ගෙනෙන ලෙස නියම කරන අවස්ථා ද වැඩි වෙමින් පවතියි.
වෙළඳපොලේ බහුල ලෙසට අලෙවි වන්නේ, හෘද රෝග ආශ්‍රිත ඖෂධ බව අනාවරණය වී ඇත. අධි රුධිර පීඩනය, හෘදයාබාධ සඳහා භාවිතා වන ඖෂධ මේ අතර ප්‍රමුඛ වෙයි. විටමින් වර්ග, ස්නායු රෝග සඳහා වන ඖෂධ මීළඟට පිටුපසින් සිටියි. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා නියම කරන ඖෂධ වලින් සියයට 90 කට වැඩි ප්‍රමාණයක් වෙළඳ නාමයෙන් නිකුත් කරයි.
මේ අතර වෙළඳ පොළේ ඇතැම් ඖෂධ වර්ග ඖෂධීය නාමයෙන් නොමැති බව ද හෙළි වී ඇත. මිල අඩු ඖෂධ වල ගුණාත්මක තත්ත්වය පිළිබඳව ඇතැම් අවස්ථා වලදී රෝගීන් පවා සැක කරන බව පෙනී යයි. මේ අනුව ගුණාත්මක භාවයෙන් ඉහළ, ඖෂධීය නාමයෙන් යුත් ඖෂධ ලබා ගැනීමට රෝගීන්ට අවකාශ විවර වි යුතු ය. රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ජාතික ඖෂධ තත්ත්ව පාලන අධිකාරිය (NDQAL) වෙත මෙම වගකීම පැවරෙයි.
මූලික වෛද්‍යආචාර ධර්ම
1. රෝගියට හානි නොකිරීම. Do not harm
2. රෝගියාට හොඳක් සිදු කිරීම. Do good
3. සාධාරණ වන්න. Justice
රෝගියා ගේ යුතුකම් සහ අයිතිවසිකම් වලට ගරු කළ යුතුය. රෝගීන් ට පහසුකම් සමසේ බෙදී යා යුතු ය. දුප්පත් පොහොසත් භේදයක් නොතිබිය යුතු ය. රෝගීන් සියල්ලටම සාධාරණ අවධාණයක් සහ කාලය වෙන් කිරීමක් කළ යුතු ය.
4. පුද්ගලිකත්වයට ගරු කළ යුතු ය. (respect for autonomy) රෝගියෙකුට තමා සම්බන්ධ තීරණය ගැනීමේ අයිතියක් ඇත.
5. සත්‍ය හෙළි කළ යුතු ය. (truth telling)
වෛද්‍යවරයා – රෝගියා සබඳතාව පවත්වා ගැනීමට මෙය ඉවහල් වෙයි.
වෛද්‍ය ජි.ජී. චමල් සංජීව.
(ලේඛකාධිකාරී උපාධි ආයතනයේ රෝහල් පරිපාලනය පිළිබඳ කොළඹ පශ්චාත් වෛද්‍ය
හිටපු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක – හම්බන්තොට