අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් කොළඹ 05, පොල්හේන්ගොඩ, කාලිංග මාවතේ ඉදිකෙරුණු නිවාස 528 කින් සමන්විත “කොළොම්තොට සරසවි උයන” නව මහල් නිවාස සංකීර්ණය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 15 වැනිදා සවස ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
ගොඩනැගිලි සංකීර්ණ 03 ක ඉදිකෙරුණු කොළොම්තොට සරසවි උයන නිවාස ව්‍යාපෘතිය නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත.
මෙරට නිවාස අවශ්‍යතාවය වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි මෙවැනි නිවාස වැඩසටහන් රැසක් රටපුරා ක්‍රියාත්මක වන අතර මෙම කොළඹගේ මාවත, කොළොම්තොට සරසවි උයන ඉන් එක් නිවාස ව්‍යාපෘතියකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය පදනම් කරගනිමින් කොළඹ 05, පොල්හේන්ගොඩ, කාලිංග මාවතේ නිර්මාණය කළ මෙම අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
නිවාස 192 බැගින් වූ මහල් නිවාස ගොඩනැගිලි 02 ක නිවාස ගොඩනගා තිබේ. ඉන් නිවාස 192 ක එක් ගොඩනැගිල්ලක් මෙම නිවාස සංකීර්ණය වෙනුවෙන් ඉඩම් ලබා දුන් කාලිංග මාවතේ පදිංචිව සිටි පවුල්වලට සහන ගෙවීමේ පදනම මත ලබාදී තිබේ. මේ සඳහා රුපියල් ලක්ෂ 10 ක් අය කෙරෙන අතර සහන වාරික ලෙස වසර 10 ක් තුළ එම සහන මුදල ගෙවීමට හැකි අතර මේ සඳහා කිසිඳු පොලී මුදලක් අය නොකෙරේ.
ඉතිරි නිවාස 192 ක් සහිත ගොඩනැගිල්ල කැලණි වැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ දී ඉවත් කළ අනවසර පදිංචිකරුවන්ට නොමිලයේ ලබා දී තිබේ.
සම්පූර්ණ නිවාස 528 න් නිවාස 144 ක් කොළඹ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 800 ක් උදෙසා නේවාසිකාගරයක් ලෙස භාවිතා කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයට ලබා දීමට නියමිතව තිබේ.
මෙම නිවාස ව්‍යාපෘතියේ එක් නිවසක දල වටිනාකම රුපියල් ලක්ෂ 70 ක් පමණ වේ.
රුපියල් මිලියන 1,900 ක (බදු රහිත) වියදමින් ගොඩනැගූ මෙම නිවාස 528 නිදන කාමර 02 කින් සහ සියළු පහසුකම්වලින් සමන්විත වර්ග අඩි 450 කින් යුක්තය. එමෙන් ම මෙහි බිම් මහල ඇතුළු මහල් 11 කින් ද සමන්විතයි.
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අධීක්ෂණයෙන් අක්කර 01, රූඩ් 03, පර්චස් 13 ක භූමියක මාගා ඉංජිනේරු පෞද්ගලික සමාගම විසින් මෙම නිවාස ඉදිකිරීම සිදුකර තිබේ.
නිවාස හිමියන් සඳහා මෙහි පොදු රථගාල් පහසුකම් සලසා ඇත. සියළු සනීපාරක්ෂක පහසුකම් ද සපයා ඇති අතර, කොළඹ මහ නගර සභාව සමඟ එක්ව අපද්‍රව්‍ය බැහැර කිරීමේ වැඩපිළිවෙලක් ද මෙහි ක්‍රියාත්මක කර ඇත.