මෙරට දී නිෂ්පාදනය කළ හැකි අල, බී ලූණු, මිරිස්, රතු ලූණු, උඳු, බඩඉරිඟු හා රටකජු යන බෝග වර්ග හතක බීජ ලබන වසරේදී ආනයනය සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය අවධානය යොමු කර ඇත.
මෙම බෝගවල බීජ මෙරටදී නිෂ්පාදනය කර ගැනීමේ වැඩසටහන මේ වන විටත් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගෙන ඇති බවින් මෙම පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගියදා (13දා) පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය. සාකච්ඡාව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
නාවලපිටිය අළුත්ගම මිරිස් බීජ නිෂ්පාදන ගම්මානය මේ වන විටත් දෙමුහුන් බීජ කිලෝ 1500ක් නිෂ්පාදනය කර ඇති බවත්, බී ලූණු බීජ නිෂ්පාදනය මේ වන විට දඹුල්ල දිගම්පතන ගොවි බිම්වල සිදු කරන බවත් සාකච්ඡාවට සම්බන්ධ වූ ප්‍රධාන බෝග වගාකරුවන් පෙන්වා දුන්හ.
මේ අතර අර්තාපල් බීජ නුවරඑළිය රජයේ ගොවිපලේ නිෂ්පාදනය වන බවද මෙහිදී අනාවරණය විය. රතු ලූණු උඳු, රටකජු හා බඩඉරිඟු බීජ ද මේ වන විට සාර්ථකව නිෂ්පාදනය කෙරෙන බැවින් ලබන වසර අවසානයට පෙර මෙම බෝග සඳහා බීජ ආනයනය සීමා කෙළ හැකි බවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණ.
බීජ ආනයනය සීමා කිරීමෙන් පමණක් නොනැවතී 2024 වන විට මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමටත් අල හා බී ලූණු ආනයනය 35% හා 30%කට සීමා කිරීමටත් කටයුතු කළ හැකි බව මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා සඳහන් කළේය.