ලොව පැවැත්වෙන දැවැන්තම විස්සයි20 ලීග් තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය චෙන්නායි සුපර් කිංග්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් අතර අද (15දා) පැවැත්වේ. මෙම තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ප.ව. 7.30ට ආරම්භ වේ.
මෙහි අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය (Qualifier-2) පෙරේදා (13දා) රාත්‍රියේ සාජාහිදී පැවති අතර, එහිදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 03ක ජයක් කොල්කටා කණ්ඩායමට හිමි විය.
එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 135ක් පමණි. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම පන්දුවාර 19.5ක් අවසානයේ කඩුලු 07ක් දැවී තම ජයග්‍රහණය සම්පූර්ණ කර ගත්තේය.
කෙසේ නමුත් මෙහි අවසානය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර, අවසන් පන්දු වාරයේදී තරගය ජය ගැනීම සඳහා කොල්කටා කණ්ඩායමට ලකුණු 07ක් අවශ්‍ය විය. මෙම පන්දු වාරය රවිචන්ද්‍රන් අශ්වින් යොමු කළ අතර, ඔහු පළමු පන්දු 04තුළදී කොල්කටා ඉනිමේ කඩුලු 02ක් දවාගනිමින් එක් ලකුණක් පමණක් ලබාදුන්නේය.
ඒ අනුව අවසන් පන්දු දෙකට කොල්කටා ලකුණු 02ක් රැස් කළයුතු වූ අතර, එහිදී 05වැනි පන්දුවට හයේ පහරක් එල්ල කළ රාහුල් ත්‍රිපාති 2014 වසරෙන් පසු කොල්කටා කණ්ඩායම අවසන් මහා තරගයක් කරා රැගෙන ගියේය.
2008 වසරේ ආරම්භ වූ අයි.පී.එල්. තරගාවලියේ මෙවර පැවැත් වූයේ 14වැනි අදියර වන අතර, ඉන් චෙන්නායි කණ්ඩායම අවස්ථා තුනකදී (2010, 2011, 2018) හා කොල්කටා කණ්ඩායම අවස්ථා දෙකකදී (2012, 2014) ශූරයන් වී ඇත.