Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

රහස් ගිවිසුම හසුවී එංගලන්තයට ගිය කෝට්ටේ සිංහයා

ලංකාද්වීපයට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන් නිදහස දිනා ගැනීම සඳහා දිවි පරදුවට තබා සටන් වැදුණ ගිහි පැවිදි නායකයන් රාශියක් අප රටේ ජීවත් විය. ඔවුන් සිය ධනය, කාලය, ශ්‍රමය, බුද්ධිය, නැණ නුවණ ඒ සඳහා නොයෙදෙව්වේ නම් අප තවමත් පරාධීන ජාතියකි. නිදහසට වසර 73 ක් සපිරුණු මේ මොහොතේ නිදහස ලබාගත් නවම් මහිම ගුණ සමරුව යෙදෙන නායකයෙකි කෝට්ටේ සිංහයා යැයි විරුදාවලිය අධි නීතීඥ සී.ඩබ්.පෙරේරා මහතා. එතුමා දැයෙන් සමුගෙන වසර 69 ක් මෙම පෙබරවාරි 16 වන දිනට සම්පූර්ණ වේ. වාදීපසිංහ මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද මාහිමියන් 1873 වසරේදී ඓතිහාසික පානදුරාවාදය පැවැත් වූ විට එම වාදයේදී දෙපාර්ශවය විසින් සිදු කරන ලද දේශන ඉංග්‍රීසියට පරිවර්තනය කර ලොවට ඉදිරිපත් කළේ නීතීඥයෙකු වූ එඩ්වඩ් පෙරේරා මහතාය.

එතුමන් කිතුණු බැතිමතෙකු වුවත්  පක්ෂග්‍රාහී නොවී සැබෑ තතු ලොවට හෙළි කළේ අවංක පුද්ගලයෙකු ලෙසිනි. මෙම පුවත් කිය වු ඇමරිකන් ජාතිකයෙකි වූ සර් හෙන්රි ස්ඊල් ඕල්කට්තුමා ගුණානන්ද මා හිමියන් සමග මිත්‍රතත්වයක් ගොඩනගාගෙන වසර 07 කට පසු ලක්දිවට පමිණ මෙරටට සිදුකළ මෙහෙය අති මහත්ය. මෙලෙස පානදුරාවාදය ලොවට හෙළි කළ නීතීඥ එඩ්වඩ් පෙරේරා මහතාට 1875 වසරේ දෙසැම්බර් 12 වන දින උපත ලද පුත් රුවන් වූයේ එඩ්වඩ් වෝල්ටර් පෙරේරාය. නමුත් ඔහු ජනතාව අතර ප්‍රසිද්ධියට පත් වූයේ ඊ.ඩබ්. පෙරේරා යනුවෙනි. ඊ.ඩබ්.පෙරේරා ජන්ම ලාභය ලැබුවේ ගාල්ල උණවටුනේදීය. ඔහුට තවත් සහෝදරයන් දෙදෙනෙකු විය. ඩබ්.එච්.පෙරේරා සහ ආතර් ඒ පෙරේරා යන අය ඔවුන්ය. මෙම පවුලේ පියා සහ පුතණුවන් තිදෙනාම දක්ෂ නීතීඥයන් විය. ජාතික නිදහස් සටනට එක් වූ ඊ.ඩබ්. පෙරේරා නීතී වෘත්තියෙන් බැහැර වී රට දැය වෙනුවෙන් අනෙකුත් ජාතික මෙහෙවරයන් සමග එකතු විය.

පෙරේරා පවුලේ සියළුදෙනාම කිතුණු ලබ්දිකයන් වුවත් බෞද්ධයන් සමග සහජීවනයෙන් විසූහ. ඉංග්‍රීසි පාලකයෝ ලාංකීය ජනතාවගේ සියළු ජනතාවගේ සියළු අයිතිවාසිකම්  පාගාගෙන සිදු කරන පාලය ඊ.ඩබ්. ඇතුළු ජාතික නායකයන්ට ඉවසුම් දෙන්නක් නොවීය. ඒ සඳහා ඊ.ඩබ්.පෙරේරා මහතා මෙරට කිතුණු ආගමික ප්‍රභූවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පිහිටුවාගෙන එංගලන්තයේ යටත් විජිත භාර ලේකම්වරයාගෙන් ආණ්ඩු ප්‍රතිසංස්කරණයක් ඉල්ලා සිටියේය.

එම කිමිටුවේ අනෙක් කිතුණු නායකයෝ වූයේ ශ්‍රීමත් ජේමිස් පීරිස්, රාජනීතීඥ ප්‍රැන්සිස්ද සොයිසා, ඒ.ඩබ්.ද සිල්වා, වයි.ජී.එස්.සී.කේ. ගෝමිස්, වයි.කේ.ඩේවිඩ්, එච්.එම්.කෝබට් යන අයය. මෙම පිරිසගෙන් සැදුම්ලත් කමිටුව 1910 වසරේදී යටත් විජිතභාර ලේකම්වරයා හමුවිය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ ලංකාවට නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවය. එම සාකච්ඡාවේ ප්‍රතිපලයක් ලෙස ව්‍යවස්ථාදායක සභාවට පළමු වරට ඡන්දයක් පවත්වා උගත් ලාංකිකයෙකු, මන්ත්‍රීවරයෙකු ලෙස පත් කර ගැනීමට අවස්ථාව උදා විය. 1911 දී පැවති මෙම ඡන්දයෙන් ශ්‍රීමත් පොන්නම්බලන් රාමනාදන් මහතා තේරී පත් විය. 1915 වසර ලක්වැසියන් හට අභාග්‍යමත් කාලයක් විය. ජාති වාදීන් අතර ඇති වූ කෝලහාලය මෙයට හේතුවයි. එම අරගලය දඩබිම කරගත් ඉංග්‍රීසි පාලකයෝ තමන්ගේ පාලනයට හිසරදයක් වූ සිංහල බෞද්ධ නායකයන් විනාශ කිරීමට අධිෂ්ඨාන කරගත්හ. මෙම කැරලි කෝලහාලවලට ආධාර අනුභල දුන්නා යැයි චෝදනා නගා සිංහල බෞද්ධ නායකයන් රාශියක් සිර භාරයට ගත්හ. මේ අය අතරට එෆ්.ආර්.සේනානායක, ඩී.එස්.සේනානායක, දොස්තර ආතර් ද සිල්වා, දොස්තර සී.ඒ.හේවාවිතාරණ, ශ්‍රීමත් ඩී.බී.ජයතිලක, ඒ.ඊ.ගුණසිංහ, මාටිනස් පෙරේරා, එඩ්වින් විජේරත්න යන අය ඇතුලත් විය.

ඉන්දියාවේ විසූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් නිවාස අඩස්සියට ගෙන සිරකර තැබූ අතර ලංකාවට පැමිණීම තහනම් කළහ. බෞද්ධ නායකයෙකු වූ ආර්.ඒ.මිරන්ද මහතා  ඔහුගේ නිවස අසළදී වෙඩි තබා මැරූ ඉංග්‍රීසි පාලකයෝ ගාල්ලේ හේන්රි පේද්‍රික් තරුණයා යුධ අධිකරණයෙන් වැරදිකරුවෙකු කර වෙඩි තබා මරා දැමූහ. සිංහල බෞද්ධ නායකයන්ට සිදුකළ මෙම බලවත් අසාධාරණය හමුවේ දැඩි සේ කිපුණේ ජාතික නිදහස් සටනට උරදී සිටි ක්‍රිස්තියානි නායකයන්ය. ඒ අනුව ඔවුන් සංවිධානය වී මේ අපරාධයට එරෙහිව ක්‍රියා කරන්නට තීරණය ගත්හ. ශ්‍රීමත් ජේමිස් පීරිස් මහතාගේ රිෆල් වර්ල්ඩ් නිවසට රැස් වූ ජේ.බී.ද සිල්වා, ඊ.ජේ.සමරවික්‍රම, රාජනීතීඥ ප්‍රැන්සිස් ද සොයිසා, එච්.බී.සී. පෙරේරා, වී.එෆ්.ද සිල්වා, එච්.එල්. ද මෙල්,ඊ.ඩබ්.පෙරේරා, ජේමිස් පීරිස් ආදි නායකයන් එංගලන්තයට නියෝජිතයෙකු යවා සිංහල බෞද්ධ නායකයන්ට ලංකා ආණ්ඩුකාරවරයා විසින් සිදු කරන ලද අපාරධ හා ඔහුගේ පොලිස්පතිවරයා සිදු කරන විනාශයත් නවතා දමන ලෙස ඉල්ලීමට තීරණය කළහ. මේ යුගය පළමු වන ලෝක යුද්ධයෙන් ලොව ගිනිගනිමින් තිබුණු යුගයක් විය. මෙම යුද්ධ තත්වය හමුවේ එංගලන්තයේ පාලකයනට ලංකාවේ ඇති වී ඇති තත්වයත් එතරම් වැදගත් වනු ඇතැයි සිතිය නොහැකි විය. නමුත් උත්සාහය අත්නොහැරිනි. ලංකා ආණ්ඩුකාරවරයා පැන වූ දුටු තැන වෙඩි තබා මැරිය යුතු යැයි නියෝගයන්ද අත්තනෝමතික අන පනත් ද කිතුණු නායකයන් විසින් සැදූ සංදේශයක් සහිත පෙත්සමද රහසේ සඟවාගෙන ඊ.ඩබ්. පෙරේරා මහතා එංගලන්තය කරා ගිය ලේසි පහසු ගමනක් නොවීය.

ලංකා ඉංග්‍රීසි පාලකයන් නොමග යවා එංගලන්තයට යාම සඳහා ගමන් බලපත්‍රයක් ලබා ගත් ටි.ඩබ්.පෙරේරා මහතා සියළු ලිපි ලේඛන තමන්ගේ සපත්තු අඩියේ රඳවාගෙන කොළඹ වරායෙන් නැව් නැග එංගලන්තයට පිවිසුනේ රටක් රාජ්‍යයක් ජයගත් විලසිනි. එංගලන්ත ආණ්ඩුවට මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ලංකාවේ ඉංග්‍රීසි පාලකයන් ගෙන ගිය අමානුශික දරදඬු පාලනය පිළිබඳ ටි.ඩබ්.පෙරේරා නොසඟවා පැවසීය. ඒ බව ඔප්පු කිරීමට ලංකා ආණ්ඩුකාරවරයාගේ අත්තනෝමතික අනපනත් වලින් ලේඛන ඔවුන් හට ලබා දුන්නේය. එංගලන්තයේ පුවත්පත් එම තොරතුර තම පත්තරවල මුල් පිටු වල පල කරමින් එංගලන්තයේ පාලකයන්ව දැඩි ලෙස විවේචනය කළහ. එංගලන්ත ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ පිළිබඳව රජයෙන් ප්‍රශ්න කළහ. මුළු බ්‍රිතාන්‍යෙය්ම අනුකම්පාව ලංකාවටත් ලක් වැසි ජනතාවටත් ලබා ගැනීමට ඊ.ඩබ්.පෙරේරා පොහොසත් විය. මෙහි ප්‍රතිපලය ලංකාවේ ඉංග්‍රීසි පාලකයන්ට විශාල අතුරු පහරක්ම විය. මෙහි සුබදායක ප්‍රතිපලය වූයේ සිංහල බෞද්ධ නායකයන්ගෙන් පළිගත් ලංකා ආණ්ඩුකාර රොබට් චාමස් ආපහු බ්‍රිතාන්‍යයට කැඳවා නව ආණ්ඩුකාරවරයා ජෝර්ජ් ඇන්ඩර්සන් මහතා පත් කරලීමයි. හිතුමතේ මිනී මැරූ පොලිස්පති ලැව්බිගින් හට තහංචි පැනවිනි. ඉංග්‍රීසි පාලකයන් සිදු කළ අපරාධ සොයා බැලීම සඳහා එංගලන්තයේ කොමිෂන් සභාව වෙත පත් කර ලංකාවට එවූහ. ඊ.ඩබ්. පෙරේරා මහතා එම ගමනේදී තවත් වටිනා දෙයක් සොයාගෙන මේ රටට ආහ. එය නම් 1815 මාර්තු 02 දින අප රට යටත් විජිතයක් වන විට පහතට දැමූ අප රටේ ජාතික ධජය බ්‍රිතාන්‍ය රෝහලක තිබී සොයාගෙන ආපසු ගෙන ඒමය. ටි.ඩබ්. පෙරේරා මහතාගේ මෙම උත්සාහය නිසා ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිංස්කරණය නව මාවතක දියුණුවට ආරම්භයක් වූ අතර සිර ගතව සිටි නායකයන්ට නිදහස උදා විය. ඔවුන් හට නිදහස් අරගලය ඉදිරියට ගෙනයාම සඳහා විවිධ සාකච්ඡා, සභා පවත්වා කරුණු රැස්කර 1919 දී ලංකා ජාතික සංගමය නිර්මාණය කරගත්හ. එක්වාරයකදී ලංකා ජාතික සංගමයේ සභාපති ධූරයටද ඊ.ඩබ්.පෙරේරා මහතා පත් විය. පෙරේරා මහතාගේ ජීවිතය පුරා රැඳී තිබුණේ අවංක භාවය හා ප්‍රතිපත්තිගරුක භාවයයි.

ලංකා ජාතික සංගමයේ ප්‍රතිපත්ති සමග වරකදී ගැටුණු පෙරේරා මහතා එම සංගමයෙන ඉල්ලා අස් වී නිදහස් සංගමය නම් නව සංවිධානයක් ගොඩනගා ගත්තේය. එහි නායකත්වය රාජනීතීඥ ප්‍රැන්සිස් ද සොයිසා දැරූ අතර ලේකම්වරයා වූයේ ඊ.ඩබ්.පෙරේරා මහතාය. ලංකාවේ ආණ්ඩුකාරවරයාට විශේෂ අමානුෂික බලතල එංගලන්ත ආණ්ඩුව විසින් පවරා තිබුණි. එහිනම් ජන විනිශෟචයකට ලක් නොකර අවශ්‍ය නම් ඔහු වෙඩි තබා මරා දැමීමේ අයිතියක් ඔහුට පවරා තිබීමය. මෙවැනි බලයක් ආණ්ඩුකාරවරයා සමග අරගල කිරීම මරණය හා සිදු කරන ගනුදෙණුවක් විය. නමුත් පෙරේරා මහතා එයට බිය වූයේ නැත. ඔහු 1926 වසරේදී එවකට ලංකාවේ ආණ්ඩුකාර පදවියේ වූ විලියම්  මැනිං මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවේ ඉංග්‍රීසි අධිරාජ්‍යයට අයත් රටක ඉංග්‍රීසි පාලකයාට එල්ල වූ ප්‍රථම විශ්වාසභංග යෝජනාව ලෙස එය ලෝකවාර්ථාවක් තබමිණි. 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ ඊ.ඩබ්.පෙරේරා මහතා ඩී.එස්.සේනානායක මහතාගේ උපදේශකයෙකු වශයෙන් ඉදිරිපත්ව උදව් කළේ ඔහුගේ දේශපාලන අනාගතය දුටු සෘෂිවරයෙකි ලෙසිනි.

නමුත් 1936 දී එතුමා පැවති රාජ්‍ය මන්ත්‍රණ සභාවට ආසනය දිනා ගැනීමට නොහැකි වූයේ නවකයෙකු වූ ඒ.ඩී. ජයසූරිය මහතාට පරාජය වීමෙනි. ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්ව ගිය විට ඉදිරිපත් වුවද ජේ.ආර්.ජයවර්ධන මහතාට පරාජය විය. දේශපාලනය ගැන දැඩිලෙස කළකිරුණු ඔහු එයින් සමුගත්තේ සියළුදෙනා මවිත කරමිනි. 1948 දී ලංකාව නිදහස් රටක් වන දැක සතුටු කඳුළු හෙලූ ඊ.ඩබ්.පෙරේරා තමා රැගෙන ආ ජාතික ධජය සිය දේශපාලන ගෝලයා ඩී.එස්.සේනානායක මහතා අතින් යළි අහසට එසවෙනු බලා ප්‍රීති විය. ඊ.ඩබ්.පෙරේරා නීතියත් දේශපාලනයත් හැර අප රටේ ඉතිහාසය පිළීබඳවද අති විශාල පුළුල් දැනුමක් සිහිතව සිටි නායකයෙකු විය. ඔහු කිතුණුවෙකු වුවද ශ්‍රී දළදා වහන්සේට අතිශයින් ගෞරව කළහ. බෞද්ධ සංස්කෘතියේ හරය පිළිබඳව දෙස් විදෙස් සඟරා වලට ලිපි සැපයූහ. රාජකීය ඓතිහාසික සමිතියේ ලංකා ශාඛාවේ උද්යෝගිමත් සාමාජිකයෙකු වූ පෙරේරා මහතා අපේ රටේ කෞතුකාගාර උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස ක්‍රියා කළහ. ඔහු කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු රජ සමය නමින් පොතක්ද ලියා පළ කළහ. කොට්ටේ නගරයේ පැරණි වලව්වක ජීවත් වූ මේ ශ්‍රේෂ්ඨ නායකයා තම ජීවිතයේදී 77 වන විය ගෙවමින් සිටියදී 1953 පෙබරවාරි මාසයේ 16 වන දින අභාවප්‍රාප්ත වූයේ සිරිලක නිදහස් අරගලයේ යෝධ සෙන්පතියෙකු ලෙස නමක් ඉතිරි කරමිනි. එතුමා දිවංගතවී වසර 69 ක් සපිරෙන මේ මොහොතේ කෝට්ටේ සිංහයා යැයි ජන හඬින් පුද ලද මේ අභීත මහා පුරුෂයා ගෞරවයෙන් සිහිපත් කරමි.

එක්සත් ජාතික පක්ෂ සභාපති,
හිටපු අමාත්‍ය,
වජිර අබේවර්ධන,

 

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img